අදට වසර 199කට පෙර ඉංග්‍රීසින්ට කොටුවූ ඇහැලේපොල නිලමේ

මෙයට වසර 200 කට පමණ පෙරාතුව ආරම්භ වූ සිංහලේ නිදහස් සටන 1817 සැප්තැම්බර් මාසයෙන් ආරම්භ වී 1818 නොවැම්බර් මාසයෙන් අවසන් විය. මේ ඉකුත් වසර 200 ක කාලය තුළ අපේ රට ඉංග්‍රීසීන්ගෙන් මුදවා ගැනීමේ ජාතිමාමක හැඟීමෙන් කටයුතු කළ වීරෝධාර සෙන්පතියන් අතර සුවිශේෂී චරිත කිහිපයක් ඉතිහාසය පුරාම අසන්නට ලැබේ.

ඉන් විශේෂිත වීරෝධාර අභීත රණකාමී මහා පුරුෂයකු ලෙස ඇල්ලේපොල නිලමේ හැඳින්වීමට පුළුවන. ඔහු දරුණු සටන් පැවති මාතලේ දිසාව භාර ප්‍රධාන යුද සෙනෙවියා විය.

දුම්බර සටන් බිම ක්‍රමයෙන් ඉංග්‍රීසීන් විසින් තම අණසකට නතුකර ගනිද්දී මඩුගල්ලේ දිසාවේත් එතෙක් පෙරමුණේ සටන් බිමේ සිටි ඇල්ලේපොල නිලමේත් මාතලේට වැදෙන බව සිංහල ඔත්තුකරුවන් ඉංග්‍රීසීන්ට සැලකර සිටින ලදි. උඩරට නායකයන් අතුරින් සටන් සංවිධානයෙන් සටන් බිමේ රණෝපායන්හිදීත් විශේෂ දස්කම් පෙන්වූ ඇල්ලේපොල මහ නිලමේ සිංහල නායකයන් සමග සිංහලේ සටන් පෙරමුණට පැමිණීම ඉංග්‍රීසීන්ට ඉවසුම් නොදෙන සිද්ධියක් විය. ඉතාම උපායශීලී යුද්ධයෙහි අති දක්ෂයකු වූ ඇල්ලේපොල නිලමේ මතු දවසක ඉංග්‍රීසීන්ට විශාල අභියෝගයක් වන බැව් දැනගත් ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ඇල්ලේපොල ගල ග්‍රහනයෙන් අල්ලා ගෙනවුත් දෙන්නෙකුට පගෝදි 1000 ක (රුපියල් හතරක් පමණ වටිනා පැරණි කාසියක්. ලක්ෂ්මී රූපය තිබෙන හෙයින් මේ නම විය.) තෑග්ගක් පිරිනමන බව 1818 මාර්තු 19 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන ලදි.

විටෙක සැඟවෙමින් විටෙක ඉදිරි පෙළට විත් සටනට නායකත්වය දෙමින් සිංහලේ නිදහස් සටනේ ඉදිරිපෙළ සටන්කාමී චරිතයකට පණ පෙවූ ඇල්ලේපොල මහා නිලමේ සිය පවුලත් සමගම උඩුදුම්බර ගම්පහ කෝරලයේ බඹරබැද්දේ ගල් ලෙනක් තුළ සිටින බව සිංහල ඔත්තුකරුවන් දුන් රහස් පණිවිඩයකට අනුව එම ගල්ගෙය වටලා 1818 ඔක්තෝම්බර් 06 වැනිදා මහා නිලමේ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්විය. ඔක්තෝබර් 17 වැනිදා මහනුවර යුදධාධිකරණය පමුණුවන ලැබූ සිංහලේ අසහාය සටන් නායකයාට විරුද්ධව නඩු විභාගය ආරම්භ විය.

යුද්ධාධිකරණයට නිලධාරීන් 05 දෙනෙකුගෙන් සමන්විත විය. ෂෂ ලංකා රෙජිමේන්තුවේ මේජර් බෙලී යුද්ධාධිකරණයේ සභාපති විනිසුරුවරයා විය. ඇල්ලේපොල මහා නිලමේට චෝදනා 02 ක් යටතේ නඩු පවරා තිබුණි.
සිංහලේ ව්‍යාජ රජු යටතේ මාතලේ දිසාභාර ප්‍රධානියා ලෙස කටයුතු කිරීම.

සාධාරණ ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව සටන් කිරීමට සිංහල ජනතාව පෙළඹවීම.

මේ චෝදනාවලට විරුද්ධව සිරකරු වරදකරු බවට තීරණය කළ යුදාධිකරණය මොහු ඔක්තෝබර් මස 27 වැනිදා උදේ 8.00 ට එල්ලා මරා දැමිය යුතු යැයි ප්‍රකාශයට පත්කරන ලදි.

යුද්ධාධිකරණයේ තීරණය ඇසු ඇල්ලේපොල මහා නිලමේ තමාට නියම වූ දඬුවම පිළිබද වචනයකුදු කතා නොකළේය. එහෙත් මරණ දණ්ඩනය දෙන ක්‍රමය පිළිබඳව පමණක් සිය විරෝධය පලකරන ලදි.

රාජද්‍රෝහී වීමේ වරදට පත්වන සිංහල නායකයන් එල්ලා මරා දැමීමේ ක්‍රමයක් මෙතෙක් සම්ප්‍රදායේ නොමැති වුවත් තමාගේ මරණය කඩුවකින් හිස ගසා දැමීමෙන් කරන මෙන් ඉල්ලා සිටියේ එවකට සිංහලේ පවත්නා නීතිය එසේ වූ නිසාවෙනි.

ඔක්තෝබර් 27 වැනිදා දවස උදාවෙත්ම මහා වරුෂාවක් මහනුවරට පතිත විය. මින් පෙර කිසි දිනෙක නොවැටි තරම් වැසි මහනුවර පොළොවට පතිත වී මුළු මහනුවර භූමියම සේදී ගියාක් මෙන් සිදුවිය. ස්වභාව ධර්මය එසේ කළේ මේ වීරෝදාර නායකයාගේ රුධිරයෙන් මේ මාතෘ භූමිය තෙත්වන විට භූමිය පිරිසිදු වී මේ රුහිරය උරා ගැනීමට සැරසී සිටියාක් මෙනි. බෝගම්බර වැවේ වතුර මහනුවර කාණු දිගේ ගලන්නට විය.

“ සිංහලේ සිවාධීනත්වය යළිත් ළඟාකර දීමට, සිංහලේ අනෙකුත් නායකයන් සමගද එක්වී සටන් බිමට බැස්සෙමි. මව්බිම පර සුද්දන්ගෙන් මුදාලීමත්, එමගින් ජාතියේ නිදහස ලබා ගැනීමත් සඳහා අපි පොරොන්දු ගිවිස ගත්තෙමු. අපේ පොරොන්දුව පරිදි මා පිට පැටවුණු ඒ භාරදූර කාර්යය නියම වශයෙන් ඉටු කිරීමට මම අපොහොසත් වීමි. ඒ නිසාම මම තව මොහොතකින් මැරුම් කන්නේ පොරොන්දු කඩකළ සිංහලයකු වශයෙනි. පොරොන්දු කඩකළ කෙනෙකුට එමෙන්ම ජාතිය වෙනුවෙන් කළ යුතුව තිබූ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි වූ අයෙකුට මිනීවළක් හිමිකර ගැනීමේ ගෞරවය අත් නොවිය යුතුය. ඒ නිසාම මා මියගිය විගස මගේ මළකුණ කැබලිවලට කපා බලු කපුටන්ගේ ආහාරය පිණිස මහා මාර්ගය අසලට දමනු මැනවි. මගේ අන්තිම ඉල්ලීම එයයි.”

ඇල්ලේපොල මහා නිලමේට දඬුවම් ලබාදීමේ දිනය උදාවිය. ඔක්තෝබර් 27 වැනිදා උදෑසන 8.00 ට මහනුවර වධක භූමිය වටා අවි ආයුධ සහිත ඉංග්‍රීසි සේනාව මුරකාවල්වල යෙදී සිටියහ. මඟුල් මඩුවේ දොරටුව පෙනෙන තෙක් මානයේ බෝගම්බර වැව අසල වූ තැනිතලාවක් මේ අවාසනාවන්ත කාර්යය සඳහා තෝරාගෙන තිබුණි. එල්ලා මැරීමේ යුදාධිකරණය තීරණය වෙනුවට සිරකරුවාගේ ඉල්ලීම පරිදි කඩුපතකින් හිසගසා මරා දැමීමේ නියෝගය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් වධක භූමිය භාර නිලධාරියා වෙත එවා තිබුණි.

සිංහලේ මිනිසුන්ට මහා වේදනාවක් වූ මේ අවස්ථාව දැක ගැනීම මගහැර සිටියත් ඉංග්‍රීසි හා ඇල්ලේපොල මහා නිලමේගේ හිස ගසා දැමීමේ දර්ශනය දැකබලා ගැනීමට වධක භූමිය වටා රැස්කමින් සිටියහ.

කහද මහත්තේ නවරත්න වික්‍රමසිංහ යැයි නම් ලැබ එදා සිංහලේ පුරා මහා සටන් කළ එහෙත් සිංහල ද්‍රෝහීන් විසින් ඉංග්‍රීසීන්ට පාවා දෙනු ලැබූ සිරකරු වධක භූමිය වෙත ගෙන එනු ලැබීය. වධක භූමියේ සිටි ඉංග්‍රීසි යුද නිලධාරීන් ඇමතූ ඇල්ලේපොල මහා නිලමේ තම අවසන් ප්‍රකාශය කිරීමට කාලය ඉල්ලා ගන්නා ලදි.

“ සිංහලේ ස්වාධීනත්වය යළිත් ළඟාකර දීමට, සිංහලේ අනෙකුත් නායකයන් සමගද එක්වී සටන් බිමට බැස්සෙමි. මව්බිම පර සුද්දන්ගෙන් මුදාලීමත්, එමගින් ජාතියේ නිදහස ලබා ගැනීමත් සඳහා අපි පොරොන්දු ගිවිස ගත්තෙමු. අපේ පොරොන්දුව පරිදි මා පිට පැටවුණු ඒ භාරදූර කාර්යය නියම වශයෙන් ඉටු කිරීමට මම අපොහොසත් වීමි. ඒ නිසාම මම තව මොහොතකින් මැරුම් කන්නේ පොරොන්දු කඩකළ සිංහලයකු වශයෙනි. පොරොන්දු කඩකළ කෙනෙකුට එමෙන්ම ජාතිය වෙනුවෙන් කළ යුතුව තිබූ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි වූ අයෙකුට මිනීවළක් හිමිකර ගැනීමේ ගෞරවය අත් නොවිය යුතුය. ඒ නිසාම මා මියගිය විගස මගේ මළකුණ කැබලිවලට කපා බලු කපුටන්ගේ ආහාරය පිණිස මහා මාර්ගය අසලට දමනු මැනවි. මගේ අන්තිම ඉල්ලීම එයයි.”

ඉන්පසු හිස ගසා දැමීමේ අවස්ථාව උදාවිය.

මහ නිලමේ දෙදණ නැමුවේය. තණ පිඩලි මත දණ ගැසූ ඇල්ලේපොල මහා නිලමේ දෙඅත් පොළවට ගසා සමබරව සිටියේය. ඔහු හිස පහතට නැමුවේය. වධකයා පැමිණියේය. ඔහු අත වූයේ පළල් තලයක් සහිත දිග කඩුවකි. මෙම මහා ශ්‍රේෂ්ඨ දේශයේ හිස ගසා දැමීම සඳහා පාවිච්චි කරන වර්ගයේ කඩුවකි. හිස වටා කඩුපත යවා මරු පහරක් එල්ල කළ වධකයා ඇල්ලේපොල මහා නිලමෙගේ බෙල්ල හරහා වැරෙන් පහරක් ගැසුවේය.

අවාසනාවක මහත ගහලයාගේ කඩු පහරින් ඇල්ලේපොල මහා නිලමෙගේ බෙල්ල හරහා මහත් විවරයක් ඇති මහත් බියකරු තුවාලයක් විය. කඩුපත දෙකට කැඩී ගියේය. පළලට කට ඇරුණු බියකරු තුවාලයෙන් ලේ විදින්නට විය. මේ බියකරු දර්ශනය වඩාත් ඇඟකිළි පොලන්නට වූයේ තුවාලයේ වේදනාවෙන් බිම නොවැටී දෙඅත් හා දෙදණ මත සමබරව සිටගෙන ගැහෙන්නට වූ මහ නිලමෙගේ සිරුර දෙස බැලූ විටය. ගහලයාට අලුතින් කඩුවක් සපයන මෙන් වධක භූමිය භාර ප්‍රධාන නිලධාරී තැන අණ කරන ලද අතර අලුතින් කඩුවක් වධක භූමියට ගෙනෙන තුරුත් මේ බියකරු දර්ශනය එසේම පැවතිනි. දෙවෙනි වරට ලැබූ කඩුවෙන් දුන් දෙවෙනි පහරින් ඇල්ලේපොල මහා නිලමෙගේ හිස කදින් වෙන්කර දැමීමට හැකිවිය. එහෙත් ඔහුගේ අන්තිම ඉල්ලීම වූ සිරුර බලු කපුටන්ට දැමීමක් සිදු නොවූ අතර මෙම හිස හා කවන්ධය භූමිදානය කරන මෙන් යුද නිලධාරී තැන නියෝග කරන ලදි. ජාතියේ නිදහස පතා සතුරන් සටනට බැස ස්වදේශිකයන්ගේ ඔත්තුවකට අනුව තම ජීවිතය රට වෙනුවෙන් පූජා කළ තවත් වීර පුතෙකු ලක් මවට අහිමි වූ අතර ඒ වීර පුතු ඉතිහාසයට එක්විය. මේ සිදුවීමෙන් වසර 200 ක් ළංවන මොහොතේ මෙසේ සටහන් කරන්නේ මෙවැනි වීර පුතුන් ලක්මවට එදා සිටි බවට වර්තමාන පරපුරට මතක් කර දීමටයි.

උපාලි උඩුගමසූරිය,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial