අද රෑ සුපිරි සදක් / භූමිකම්පා සුනාමි අවදානමක් නෑලු

නව වසරේ උදාවත් සමග දුරුතු පුන් ‍පොහෝ දිනයද එළැඹි අද (01) දිනයේ  දිස්වන චන්ද්‍රයා වෙනත් ‍පොහෝ දිනයන්හි පෙනෙන චන්ද්‍රයාට වඩා විශාලව හා වැඩි දීප්තියකින් දිස්වුවද ඒ හේතුවෙන් භූමිකම්පා, කුණාටු, හෝ සුළිසුළං ඇතිවීමේ කිසිදු අවදානමක් නැතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
අද (01) දිස්වන චන්ද්‍රයා වෙනත් ‍පොහෝ දිනවලට වඩා 14ක විශාලත්වයක් සහ 30ක වැඩි දීප්තියකින් දර්ශනය වන අතර එය සුපිරි සඳක් ලෙස හඳුන්වනු ලැබෙයි. ඉලිප්සාකාර ගමන් මගක පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රයා පෘථිවියට වඩාත් ළංව ගමන් කරන දිනක පුරහඳක් ඇතිවුවහොත්, එදින චන්ද්‍රයා විශාලව හා වැඩි දීප්තියකින් දර්ශනය වේ. සුපිරි සඳක් ලෙස චන්ද්‍රයා හඳුන්වන්නේ එවැනි අවස්ථාවල වන අතර එදිනම චන්ද්‍රයා කිලෝමීටර 50000ක් පමණ පෘථිවියට ළං වේ. අද (01) රාත්‍රියේදී චන්ද්‍රයා පෘථිවියට කිලෝමීටර 356565ක් තරම් ළංව පිහිටවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීය.
අද (01) සවස හිරු බැස ගොස් නැගෙනහිර අහසින් සඳ පායන අවස්ථාව සහ හෙට (2) අලුයම චන්ද්‍රයා බටහිර අහසින් බැසයාමට මොහොතකට පෙර අවස්ථාව, මෙම සුපිරි සඳ නැරඹීමේ හොඳම අවස්ථාව බවද මහාචාර්යවරයා පැවැසීය. මේ ආකාරයේ තවත් සුපිරි සඳක් මේ මස 31දා යෙදෙන, පුරහඳ දිනයේදී ද ඇති වන බවත්, එදිනට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද සිදුවන බවත්, චන්දන ජයරත්න මහතා පැවැසීය. මාසයක් තුළ ඇතිවන දෙවන පුරහඳ බ්ලූමූන් හෙවත් නීලචන්ද්‍රයා ලෙස හඳුන්වයි.
කෙසේ වතුදු සඳ මෙලෙස පෘථිවියට ළං වීම නිසා ගුරුත්වාකර්ෂණයේ වැඩිවීම මත වඩදිය මට්ටමේ වැඩිවීමක් ඇතිවිය හැකිමුත්, භූකම්පන, සුළිකුණාටු ඇතිවන බවට පළවන කටකතා සත්‍යයෙන් තොර බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය.