අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

සොබාදහමත් මිනිසාත් අතර වන අවියෝජක බැඳීමත්, මිනිසා සතු කෘතවේදීත්වයක් අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ පුබුදුවාලන්නේ අපේ මුතුන්මිත්තන්ගේ උත්තුංග ගුණ යහපත්කම හමුවේ විදහාලමින් බව ජනාධිපති මෛත්‍රී්‍රපාල සිරිසේන මහතා පවසයි. අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එහි මෙසේද දැක්වේ.
යුගයෙන් යුගය මානව ශිෂ්ටාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත් කරමිනි. ලොව විවිධ ජාතීන් සමරනු ලබන ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වූ සංස්කෘතික උළෙල කෙරෙන් පැවැතෙන්නේ ඔවුන් තම චිරාගත උරුමයන්ට දක්වන ළබැඳියාව සහ අපරිමිත වූ කැපවීමය.
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද කෙරෙන්ද සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ට පිළිබිඹු වය.
අලුත් අවුරුද්ද යනු සැබැවින්ම අලුත් දැක්මක්, අලුත් කියවීමක් සහිත අලුත් මිනිසකු සාමාජයට පිළි ගැන්වීමය. නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයං හැදෑරිමකට අනුගතව, අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සමග ගනුදෙනු කරන මේ අලුත් මිනිසා අලුත් අවුරුදු උදාවත් සමග සමාජයට ප්‍රවේශ වන්නේ සාමකාමී සහජීවනය සහ සමාජ සංහිඳියාව කැටුව නෑ ගම් යන සමීප ඥාතියකු ලෙසිනි.
අනේ‍යා්න්‍ය බැඳීම් සහ සමාජීයය සබඳතා එරබඳු කැකුළු සේ විකසිත කරනු ලබන විරාගත සිරිත් විරිත් සමග බැඳුණු අලුත් අවුරුද්ද මිනිස් සිතිවිලි පරාසය පරමාදර්ශී සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලා යන්නේ අපේ ගැඹුරු අවබෝධය සහ අප අලුත් අවුරුද්දට දක්වන ගෞරවනීය පිළිගැනීම ඔස්සේය.
මුළු මහත් ජන සමාජයට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාරධර්ම වපුරන මෙම මහාසාර සංස්කෘතික මංගල්‍යය ගැඹුරින් හදාරා උත්කර්ෂවත් ලෙස සැමරීම කෙරෙන් සාමය සහ සෞභාග්‍ය නම් අස්වැන්න නෙළා ගැනීමට අපට නිසැකවම හැකි වනු ඇත.
සොබා දහමත් මිනිසාත් අතර වන ආදි කල්පිත අවයෝජනීය බැඳීම්ද මිනිසා සතු කෘතවේදිත්වය පිළිබඳ ආශ්වාදනීය කැපවීමද අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ වර නැගෙනුයේ අපේ ආදිතමයන්ගේ උත්තුංග ගුණ යහපත්කම අප හමුවේ විදහාලමිනි.
එවන් මහරු සාරධර්මයන් යාවත්කාලීන කරමින් සිංහල – දමිළ අලුත් අවුරුද්ද සමරන එතෙර මතෛර වැසි සමස්ත ශ්‍රී ලංකිකයන්ට සාමය සෞභාග්‍යය සපිරි ඉසුරුමත් අලුත් අවුරුද්දකට මාගේ සුබපැතුම් පිරිනමමි.