අලුත් අවුරුද්දේ නව ඇරඹුමක් / අගමැති පණිවිඩය

ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින් හා අගයමින් සියලු දෙනා සමග සාමයෙන් සතුටින් දිවි ගෙවීමට මෙම අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගනිමු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
එහි මෙසේ ද සඳහන් වේ.
සොබා දහම සහ මනුෂ්‍යයා අතර පවතින අනේ‍යා්න්‍ය සබඳියාව අර්ථවත් කරමින් හිරු ප්‍රමුඛ සොබා දහමට කෘතවේදිත්වය පුද කරන ජාතික සමගිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම් , අධිෂ්ඨානයන් සමග ජීවිතය අලුත් කර  ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.
වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අලුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක්වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමග සතුටින් සාමයෙන් දිවි ගෙවීමට මෙම අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගනිමු.
චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවැත එන අලුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහාද මෙය අවස්ථාවක් කර ගනිමු.
සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.