අසිරිමත් ඉල් පුන් පොහෝ දිනය අදයි

ඉල් පුන් පොහොය ලෝකයේ බෞද්ධයන්ට වැදගත්වන හේතු කිහිපයකි. ඉන් ප්‍රධානතම කරුණ මතු බුදුවීමට පෙරුම්දම් පුරමින් සිටින මෛත්‍රී බෝසතාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලද්දේ ඉල් පුන් පොහොය දිනයක වීමය. එදින මෛත්‍රී බෝසතාණන් විසින් දේවාරෝහණ ප්‍රජාවට සහභාගිවූ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධ කුටියෙහි සළුවක් ගෙන වියනක් සේ බැඳ පූජා කළේය.

මෙම අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෛත්‍රී බෝ සතුන් මතු බුදුවීමට නියත විවරණ ලැබීය. අනාගතයේදී බරණැස කේතුමතී නුවර සංඛ රජුගේ අග්‍රපුරෝහිතයාණන් සුබ්‍රහ්ම සහ ඔහුගේ බිරිඳ බ්‍රහ්මවතීට දාව මෛත්‍රී බුදුන් පුත් තනතුරේ උපදින බව දිව්‍යඥානයෙන් බලා වදාරන ලදී. එමෙන්ම නුග ගසක් යට මෛත්‍රී බුදුන් බුද්ධත්වය ලබන බවද ගෞතම බුදුහු වදාළහ.

තම මව මිසදිටු රූපසාරි බැමිණියට දහම් දෙසා යහමඟට ගත් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේද ඉල් පුන් පෝදාකය.

ඉල් පුන් පොහෝදා සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම රහත් හැටනම ධර්මදූත ප්‍රචාරය සඳහා ගමන් ඇරඹීමයි.

නේරංජනා නදී තීරයෙහි විසූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිල තාපසයන් තුන්දෙනා දමනය කොට බුදු සසුනෙහි පැවිදි බවට පත් කර වූයේද ඉල් පුන් පොහෝදාකය.

බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කර ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථූපය වූ ථූපාරාම චෛත්‍ය දේවානම් පියතිස්ස රජතුමා විසින් කරවන ලද්දේ ඉල් පොහොය දිනයකදීය.

පසුවස් පවාරණය කළ යුතු දිනය වීම සහ චීවර මාසයේ අන්තිම පොහොය වීමද කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය ඉල් පුන් පොහොය දිනය වීමද සුවිශේෂී වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *