ආනයන සීමා කළ හැකි භාණ්ඩ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආර්ථික සභාව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී යි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථික අභියෝගයට මුහුණදීම සඳහා ශ‍්‍රී ලංකාව ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කොට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

දැනට ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කොට පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයන්ට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය සීමා කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම පාලනය කිරීම මගින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මගින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි බව ද මෙහිදී ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ප‍්‍රකාශ කළා.

දේශීය ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් මුහුණ දී ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙවර ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු කර ඇති අතර සීනි ආනයනකරුවන් වර්තමානයේ මුහුණ දි ඇතැයි පැවසෙන ගැටලු පිළිබඳව එහිදී සාකච්ජා කර තිබෙනවා. වර්තමාන පාලන මිලට සීනි ලබාදීමේ දී විශාල වශයෙන් පාඩු විදීමට සිදුවන බවයි සීනි ආනයනකරුවන් පෙන්වාදී ඇත්තේ.

දේශීය පළතුරු බීම කර්මාන්තකරුවන්ගේ ගැටලු ද ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක් කර තිබෙනවා.

පළතුරු බීමවල අඩංගු සීනි ප‍්‍රමාණය මත පනවා ඇති බදු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දේශීය පළතුරු නිෂ්පාදකයන්, පළතුරු ගොවීන් සහ බීම නිෂ්පාදකයන් දිරිමත් කරමින් ඔවුන්ට වැඩි අවස්ථා ලබාදීමේ නිසි ක‍්‍රමවේදයක් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කර එහි වාර්තාවක් ජාතික ආර්ථික සභාවට ලබාදෙන මෙන් නිර්දේශ කෙරුණා.

ආනයනය කරනු ලබන ති‍්‍රත්ව සුපරි පෝස්පේට්වලට ආදේශයක් වශයෙන් එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් සිංගල් පෝස්පේට් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු ක‍්‍රමවේදයක් පිළිබඳව ද ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු කර ඇති අතර එමඟින් පොහොර සඳහා විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ඉතිරිකර ගත හැකි බව විශේෂයෙන් අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *