ආර්ථික අර්බුධයට මුහුණ දෙනවා / අගමැති කියයි

මතුව ඇති ගෝලීය ආර්ථික අර්බුධයට සාර්ථකව මුහුණදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් තිබුණත් අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන මුදල් අඩුකිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

ගෝලීය ආර්ථික අර්බූදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුය. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ වටිනාකම අඩු වුණා. ඒ නිසා ඇමරිකානු කොටස් වෙළඳපොළ ආයෝජකයින් සහ අනෙකුත් ආයෝජකයින් සිය මුදල් තමන්ගේ රටවලට ගෙන ගියා. නමුත් දැන් එය වෙනස් තත්වයකට පත්ව තිබෙනවා.

වර්තමානය වන විට ඇමරිකාවේ කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ වැඩිවී තිබෙනවා. ඒවගේම සීඝ්‍ර දියුණුවක් ඇතිවී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනතාවට සහන දුන් නිසා වැඩි වැඩියෙන් මුදල් බඩු භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් වැය කරනවා. මේ තත්වය මත එරට සමාගම්වල ලාභය තවත් වැඩි වෙනවා. එපමණක් නොවෙයි. මෙතෙක් කල් ඇමරිකානු මහ බැංකුව අඩු පොලියට ණය ලබාදුන්නත් පසුගිය කාලයේ දෙවතාවක් පොළිය වැඩිකර තිබෙනවා.

මෙහි ප්‍රතිඵලය කුමක්ද? ඇමරිකාවේ කොටස් වෙළෙදපොලේ සහ එරට ව්‍යාපාරවල මීට වඩා ලාභ තිබෙන නිසා අපේ රටේ සිටින ව්‍යාපාරිකයින් තමන්ගේ මුදල් දැන් ඇමරිකාවට ගෙන යනවා.

මේ නිසා අපේ රටවල් සෑම එකකම තිබෙන ඩොලර් සංචිත අඩු වෙනවා. ඩොලර් සංචිතය අඩු වුණාම අපේ මුදල්වල අගය බාල්දු වෙනවා. මේ අර්බූදයට අද අපට මුහුණ දීමට සිදුව තිබෙන බව කිව යුතුයි.

මේ තත්වය අපේ රටට පමණක් නොව අනෙකුත් සෑම රටකටම බලපා තිබෙනවා. ඒ අනුව ඉතාලියේ යුරෝ එක 1.3 කින්ද එංගලන්තයේ පවුමක් 1.3කින්ද, ඕස්ට්‍රේලියාවේ ඩොලරය 6.5කින්ද ඉන්දුනිසියාවේ රුපියා 6.8කින්ද කොරියාවේ වොන් එක 4.5කින් ද, පිලිපිනයේ පීසෝ 7.5කින්ද සිංගප්පුරුවේ සහ මැලේසියාව 1.6කින්ද  ඉන්දියාවේ මුදලේ අගය 11% කින්ද අඩුවී තිබෙනවා.
දැන් අපට තිබෙන්නේ උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමයි. එයට අපි සාර්ථකව මුහුණ දෙනවා. එයින් ඈත් වන්නේ හෝ පලා යන්නේ නැහැ.

අපේ රටේ තිබෙන්නේ අපනයන ආර්ථිකයක් නොවේ. අපි ණය ගන්නා ආර්ථිකයක් බව කිව යුතුයි. අද අපි මේ තත්වයට පත්ව තිබෙන්නේ ඒ නිසයි. අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි.

පසුගිය කාලයේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඉදිරියට පැමිණියා සේ උද්ගතව ඇති මේ අර්බූදයටද අප සාර්ථකව මුහුණ දෙනවා.