ආසියානු මළල ක්‍රීඩා පිටියේ ලංකාව ඉන්දියාවත් පරදයි

ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති 08 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 03ක් දිනාගනිමින් පදක්කම් සටහනේ 07 වැනි ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියක ශ්‍රී ලංකාව දැක්වූ ඉහළම දක්‍ෂතාවද මෙයයි.

පසුගිය බ්‍රහස්පතින්දා (01දා) ආරම්භ වූ මෙම තරගාවලිය පෙරේදා (03දා) අවසන් විය.

Rank Nation Gold Silver Bronze Total
1  Kazakhstan 7 4 1 12
2  Iran 5 9 10 24
3  Qatar 4 3 2 9
4  China 3 2 1 6
5  Kuwait 3 1 2 6
6  Uzbekistan 2 1 0 3
7  Vietnam 1 0 3 4
7  Sri Lanka 1 0 3 4
9  India 0 4 2 6
10  Chinese Taipei 0 1 0 1
10  Kyrgyzstan 0 1 0 1
12  Turkmenistan 0 0 2 2
13  Japan 0 0 1 1
Total 26 26 27 79

ශ්‍රී ලංකාව දිනූ එකම රන් පදක්කම ගයන්තිකා අබේරත්න විසින් දිනාගනු ලැබූ අතර, මීටර 1500 ඉසව්ව නියෝජනය කළ ඇය තරගය අවසන් කිරීම සඳහා විනාඩි 4.26.83ක දක්‍ෂතාවක් දැක්වීමට සමත් වූවාය. මෙම කාලය ශ්‍රී ලංකා වාර්තාවක්ද වන අතර, ඇය විසින් බිඳලනු ලැබුවේ එරංගා රසිකා දුලක්‍ෂි විසින් 2016 වසරේදී (කටාර්/වි. 4.37.10) පිහිටුවා තිබූ වාර්තාවයි. මෙම ඉසව්වේ රිදී පදක්කම කසකස්තාන ක්‍රීඩිකාවකට (වි. 4.28.20) හිමිවූ වූ අතර, ලෝකඩ පදක්කම වියට්නාම ක්‍රීඩිකාවක් (වි. 4.28.87) විසින් දිනාගනු ලැබූවාය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු පදක්කම් හිමිකාරිය වූ නිමාලි ලියනආරච්චි (වි. 2.10.83) මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තාය. කෙසේ නමුත් නිමාලිගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාව මෙහිදී ප්‍රදර්ශනය නොවූ අතර, මීටර් 800 ශ්‍රී ලංකා (ගෘහස්ථ) වාර්තාවේද හිමිකාරිය වන ඇය මි. 2.04.88කින් මෙම වාර්තාව 2016 (කටාර්) වසරේදී පිහිටුවීමට සමත් වූවාය. මෙම තරගයට ගයන්තිකා අබේරත්න (වි. 2.11.20) ක්‍රීඩාකළත්, ඇයට සිවුවැනි ස්ථානය හිමිවිය. ගයන්තිකා මීටර් 800 (එළිමහන්) ශ්‍රී ලංකා වාර්තාවට (වි. 2.02.55) හිමිකම් කියයි.

මීට අමතරව දුර පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට ජනක විමලසිරි (මී. 7.67) සමත් විය. එහි රන් පදක්කම දිනූ චීන ක්‍රීඩකයෙකු (මී. 8.16) සතු වූ අතර, රිදී පදක්කම චීන තායිපේ (මී. 7.72) ක්‍රීඩකයෙකුට හිමිවිය.

ශ්‍රී ලංකාව දිනූ අනෙක් ලෝකඩ පදක්කම මීටර 400 ඉසව්වෙන් උපමාලිකා වලවගේ විසින් දිනාගත්තාය. ඇය සිය ඉසව්ව තත්. 54.90කින් අවසන් කළ අතර, එම ඉසවේ රන් පදක්කම දිනූ ක්‍රීඩිකාව තත්. 53.28ක දක්‍ෂතාවක් හා රිදී පදක්කම දිනූ ක්‍රීඩිකාකව තත්. 53.49ක දක්‍ෂතාවක් දැක්වූහ. මෙම ක්‍රීඩිකාවන් දෙපළම කසකස්තානය නියෝජනය කළහ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් 05 දෙනෙක් සහභාගී වූහ.