ඇමැතිකම් බෙදාදෙන්න 225ත් මදිවෙයි !


නිර්මාණය කිරීමට උත්සාහ දරන ජාතික ආණ්ඩුව පිළිබද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පළකරන අදහස්.

ජාතික ආණ්ඩුවක් යළි බිහි කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ගැන විවිධ මත පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරන මතය පැහැදිලි කළොත්…

අපේ ස්ථාවරය ඉතා පැහැදිලියි. මේක රට ගැන වත්, ජනතාව ගැන වත් සිතා කරන දෙයක් නොවෙයි; තනිකරම ආණ්ඩුවේ ඇමැතිධුර සංඛ්‍යාව වැඩි කරගන්න දරන වෑයමක් විතරයි. එහෙම නැතිව, ආණ්ඩුවට කිසිම ඕනෑකමක් නැහැ ජනතාව ගැන හිතලා කටයුතු කරන්න.

ඒත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එක් පක්ෂයකට වැඩි පක්ෂ ගණනක් එකතු වුණොත් ජාතික ආණ්ඩුවක් ලෙස සලකා ඇමැතිධුර සංඛ්‍යාව වැඩි කළ හැකියි. ඒ අනුව මෙහි යම් නීත්‍යනුකූල බවක් තිබෙනවා නේද?

ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන-එක ගැනත් ප්‍රශ්නයක් තිබෙනවා. එහෙත් ඊටත් වඩා ප්‍රශ්නය සදාචාරාත්මක ක්‍රමයක්ද මේ අනුගමනය කරන්න හදන්නෙ කියන-එක. බහුතරය තිබෙන පක්ෂයකුයි තවත් එක් අයකු ඉන්න පක්ෂයකුයි කොහොමද ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ?

ඒත් ව්‍යවස්ථාවට අනුව 2015 වසරේ සිට පසුගිය වසරේ ඔක්තෝබර් දක්වා එජාපයත් ශ්‍රීලනිපයත් එක්ව පිහිටුවූ ජාතික ආණ්ඩුවක් තිබුණා. පක්ෂයක මන්ත්‍රී සංඛ්‍යාව කෙසේ වෙතත් පක්ෂ දෙකක් එක් වීම ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගත යුතුයි නේද?

ජාතික ආණ්ඩු සංකල්පයේ අරමුණුවලට විරුද්ධව යෑමකුයි මෙහිදී සිදු කෙරෙන්නේ. අලි සහීර් මවුලානා මන්ත්‍රීවරයා පමණක් එකතු කරගෙන ඇමැතිධුර 48ක් දක්වා වැඩි කරගැනීමට උත්සාහ දැරීම කෙසේවත් අනුමත කරන්න බැහැ. පසුගිය ජාතික ආණ්ඩු සමයේ මන්ත්‍රීධුර වැඩි කරගැනීම කෙසේ වුවත් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයත් අගමැතිවරයා නියෝජනය කරන පක්ෂයත් වශයෙන් පක්ෂ දෙකක ජාතික ආණ්ඩුවක් තිබුණා. එය ජාතික ආණ්ඩුවක් ලෙස අප පිළිගත යුතු වෙනවා.

එහෙත් පෙර පැවැති රජයේ ඇමැතිධුර 60ක් තිබුණු බවක් වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පෙන්වා දී තිබෙනවා…

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඇමැතිවරුන්ගේ සීමාවක් තිබුණේ නැහැ. අනිත් එක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැරැදි කරපු නිසා තමයි ජනතාව ඒ අය පැන්නුවේ. වත්මන් ආණ්ඩුවත් උදාහරණ හැටියට ගන්න හදන්නෙ ඒ අය කරපු වැරැදිද? රාජපක්ෂ ආණ්ඩුවට බැන-බැන ඒ අය කරපු ඒවාම කරනවා නම්, මොකක්ද ඒකෙ තිබෙන සදාචාරය?

ඒත් සමහර ඇමැතිවරුන්ට අමාත්‍යාංශ 7-8ක් තිබෙනවා; ආයතන 40කට වඩා අයත් වනවා. මේ තත්ත්වය මත ජනතා සේවාවක් කරන්න අපහසු තත්ත්වයක් පවතිනවා නේද?

ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වෙච්ච චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ ඇමැතිධුර 20ක් තිබුණු කාලයකුත් තිබුණ නේ. ඒ කාලෙත් ඔය අමාත්‍යාංශ තිබුණා නේ. අනිත් එක: ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුන් එකතුව 70 දෙනකු පත් කරන්න පුළුවන්. ආණ්ඩුව කියන විදිහට බැලුවොත් මන්ත්‍රීවරුන් 225ත් මදි වෙයි ඇමැතිවරුන් පත් කරන්න! රාජ්‍ය ආයතන 800කට වඩා තියෙනවනේ. ඇමැතිවරයාට තිබෙන්නෙ ලිපිකරුවාගේ වැඩේ වත්, දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වැඩේ වත් නෙමෙයි නේ. ඔහුට තිබෙන්නේ ප්‍රතිපත්ති හදන-එක නේ. කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා කරගන්න වැඩ මේවා.

රුපියලේ අගය අවප්‍රමාණ වීම පහුගිය කාලේ දේශපාලන මාතෘකාවක් වුණා. දැන් කවුරුවත් සද්ද නෑ…

දින 52 නීතිවිරෝධි ආණ්ඩුව පත් වෙන්න කලින් හර්ෂ ද සිල්වා වගේ ඇමැතිවරුන් කිව්වා අපනයන ආර්ථිකයක් ඇති රටකට රුපියලේ අගය අවප්‍රමාණ වීම හොඳයි කියලා, ඒ වෙලාවෙ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කිව්වා රුපියලේ අගය අවප්‍රමාණ වීම ඉතා නරකයි කියලා. නීතිවිරෝධි ආණ්ඩුව පවතිද්දි හර්ෂ ද සිල්වා කිව්වා රුපියලේ අගය අවප්‍රමාණ වීම විශාල ආර්ථික අර්බුදයක් කියලා. ඒ වෙලාවෙ බන්දුල ගුණවර්ධන කිව්වෙ මොන යකෙක් ආවත් රුපියල පාලනය කරන්න බැහැ කියල. මේ දෙගොල්ලම රුපියලේ අගය අවප්‍රමාණ වීමත් අරගෙන ජනතාවට බොරු කියන එකයි කළේ. දේශපාලන අර්බුදයක් ඇති ඕනෑම අවස්ථාවක ආර්ථිකයේ අවප්‍රමාණ වීමක් වෙනවා. දැන් යම් පමණක ස්ථාවරත්වයකට පත් වෙමිනුයි තියෙන්නෙ. ඒත් ඔක්තෝබර් 26ට කලින් තිබුණු තත්ත්වයට තවම ඇවිත් නැහැ. කොහොමත් රුපියලේ අගය අවප්‍රමාණ වීම අපට අවාසියක් මිස, කිසිම ආකාරයක වාසියක් එයින් අත් වන්නේ නැහැ.

සුනිල් හඳුන්නෙත්ති මහතා පහුගිය සතියේ පැවසුවා ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා. අපේක්ෂකයා කවුරුද?

අපට අවශ්‍ය වන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය නවත්වන්නයි. අසීමිත බලතල නිසා සිදු වන්නේ රටට හානියක් මිස, සෙතක් නෙමෙයි. අපි උපරිම උත්සාහ ගන්නවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. බැරිම වුණොත් අපි ජනතා විමුක්ති පෙරමුණ හා ඊට සම්බන්ධ බලවේග එකතු කරගෙන අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා. අපට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ධුරය ඉවත් කරන්නයි.

ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුද?

කීපදෙනෙක් ඉන්නවා, අවශ්‍ය වෙලාවට අපි බලමු.

පළාත් සභා මැතිවරණය හැමදාම කල් යනවා…

පළාත් සභා මැතිවරණය මේ වන විට බොහෝ කල් ගිහින්. තවත් පළාත් සභා දෙකක් මාසෙකින් දෙකකින් පමණ විසුරුවනවා. අපේ ස්ථාවරය වන්නේ සියලු පළාත් සභා මැතිවරණ එක්වර පැවැත්විය යුතු බවයි. ඒත් මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ මහ මැතිවරණයක්. රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. ඒත් ජනාධිපතිවරයායි අගමැතිවරයායි ගෙදර අඹු-සැමියන් වගේ රණ්ඩු වෙනවා! පහුගිය නීතිවිරෝධි ආණ්ඩු කාලයේ කුමන්ත්‍රණය කරපු අයත් මහ මැතිවරණයක් ඉල්ලල දැඟලුව. දැන් ඒ ගැන කතා නැහැ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා ඉක්මනින්ම මැතිවරණය පැවැත්විය යුතු බව…

පැවැත්විය යුතුයි. ඒත් මිශ්‍ර ක්‍රමයට මිස, කෝටි ගණන් ධනය විනාශ කරන මනාප පොරය අනුව නෙමෙයි.

එහෙත් මැකො සභාපති පවසන්නේ වර්තමානයේ පවතින ගැටලු අනුව වඩාත් ප්‍රායෝගික වන්නේ පැරණි ක්‍රමයට පැවැත්වීම බවයි…

ඔහු ඒ අයුරින් ප්‍රකාශ කර තිබීම ගැන අපට කනගාටුයි. එය දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටීමක් ලෙසයි පෙනෙන්නේ. පළාත් සභා අනිවාර්යෙන්ම මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි. අඩුපාඩු තිබෙනවා නම් ඒවා සකස් කිරීම මිස, මනාප පොරයට යළි පාර සකස් නොකළ යුතුයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes