ඇස් හැර බලන්න / ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ඒකාබද්ධයට කියයි

කවර ආකාරයේ අභියෝග එල්ලවුවද ඉදිරි වසර එකහමාරක කාලය තුල රටට හා ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර දීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව සතු බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ලංකා ඒ නිවුස් සමග සංවාදයකට එක්වෙමින්.
රට තුල ආර්ථික සංවර්ධනය හෝ ධනාත්මක තත්ත්වයන් නිර්මාණය කිරීම සදහා ජනතාව තුල ඒ කෙරෙහි විශ්වාසයක් පැවතිය යුතු බවයි ජේසී අලවතුවල මහතා පවසන්නේ.
එම විශ්වාසය බිඳ දැමීම සදහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කණ්ඩායම් කිහිපයක් රට තුල විවිධාකාර අර්බුධ නිර්මාණය කරමින් ජනතාවට රට තුල අස්ථාවර තත්ත්වයක් පවතින බව පෙන්වීමට තැත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව පසුගිය වසර 3ක කාලය තුල මෙරට විදෙස් සංචිත වර්ධනයවීම වැනි ධනාත්මක ලක්ෂණ නිර්මාණයවී ඇති අතර ඒකාබද්ධ විපක්ෂය එම සුබවාදී තත්ත්වයන් පිළිබද නිහඩව සිටින බවටයි ජේ සී අලවතුවල මහතා චෝදනා කරන්නේ.
රටක විපක්ෂයක කාර්යභාරයවිය යුත්තේ රජයේ දෝෂ පෙන්වාදීම හා නිවැරදි කිරීම වුවද ඒකාබද්ධ විපක්ෂය දෝෂ නිර්මාණය කරමින් ආණ්ඩුවට චෝදනා නැගීම පමණක් සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.
කෙසේ වෙතත් දැන් එළඹ ඇත්තේ වැඩ කළ යුතු කාලසීමාවක් මිස ඒකාබද්ධ විපක්ෂය වැනි කණ්ඩායම්වලට පිළිතුරු ලබාදීම සදහා කාලය වැය කිරීම නොවන බවද ඔහු අවධාරණය කළා.
මේ වන විට ප්‍රදේශ රැසකට බලපා ඇති ආපදා තත්ත්වයේදී ජනතාවට කඩිනම් සහන ලබාදීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා පුළුල් දායකත්වයක් ඒ වෙනුවෙන් හිමිවන බවද අලවතුවල මහතා සදහන් කළා.
ඒ වෙනුවෙන් අදාළ අංශ සක්‍රීයව කටයුතු කරන අතරම ඒ පිළිබද විශේෂ අවධානයකින් පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ආපදා සහිත ප්‍රදේශවල ජනතාව රජය මගින් ලබාදෙන උපදෙස් හා නිවේදන අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් වන අතර එමගින් අනතුරු අවම කර ගත හැකි වන බවයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.