ඉන්දියන් ඔයිල් සමාගමේ හැසිරීම ගැන අනුරගෙන් ප්‍රකාශයක්

වත්මන් LIOC සමාගම අත්තනෝමතික ලෙස හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත‍්‍රණයක් ලෙස අර්බුද නිර්මාණය කොට ඇතිවන තත්වය ප්‍රයෝජනයට ගනිමින් බාල තෙල් නැව ගොඩබෑමට ප්‍රයත්න දරන බව උද්ගතවී ඇති තෙල් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර දිසානායක මහතා සදහන් කළා. මේ එම සම්පූර්ණ ප්‍රකාශයයි.

රට තුළ නිර්මාණය වී ඇති ඉන්ධන හිඟය හේතුවෙන් ගමනාගමන ක්ෂේත‍්‍රයේ මතුවී ඇති ගැටලූකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් ජනතාව විශාල අපහසුතාවයකට පත්ව සිටිනවා. එසේම මෙම තත්වය රටේ ආර්ථිකයට බලපෑම් කරන තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව ලෙස ප්‍රකාශ වන්නේ, ඉන්දීය තෙල් සමාගම ගෙන්වන ලද තෙල් නැවක් නියමිත ප්‍රමිතියට නොමැතිකමින් ගොඩබෑම ප්‍රතික්ෂේප වී තිබීමයි.
නමුත් මෙහිදී පෙනී යන ප්‍රධානතම කරුණු කිහිපයක් තිබෙනවා.
පළමුවැන්න නියමිත පරිපාටිය අනුගමනය නොකර තෙල් ආනයනය කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති පියවරයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ලංකාවට තෙල් ගෙන්වන ලද්දේ දීර්ඝ කාලීන කොන්ත‍්‍රාත් ක්‍රමය යටතේයි. නමුත් පසුගියදා ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ආයතනයක් තෝරාගෙන තිබියෙදීත් ඊට කැබිනට් අනුමැතිය ලබානොදී ඒ වෙනුවට වෙළඳපොළෙන් ස්ථානීය මිලදී ගැනීම් යටතේ තෙල් ගෙනඒම අරඹා තිබෙනවා. ඒ නිසා පසුගිය මාස කීපය තුළ ඇමරිකානු ඩො: මිලියන 40ක් ඉතා බරපතල පාඩුවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී මෙම සභාවට සංඛ්‍යා ලේඛන සහිතව ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
දෙවැන්න ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීමයි. දැනට පවතින ගබඩා ප‍්‍රමාණවත් වන්නේ සති 01කට පමණ කාලයකට පමණයි.
ත්‍රිකුණාමල චීන වරායේ ටැංකි 99ක් පවතින අතර, 2003 වන විටත් අගමැතිවරයා යටතේම මෙය LIOC සමාගමට වසර 35කට ලියවිල්ලකින් පමණක් ලබාදී තිබෙනවා. එහි 1.2 ෙඡ්දය යටතේ 2003.03.01 දින සිට මාස 06ක් තුළ විධිමත් බදු ගිවිසුමකට නොයෑම හේතුවෙන් ඔවුන් එහි දැන් සිටින්නේ නීති විරෝධී ලෙසයි. සැබැවින්ම දැනට ඔවුන් භාවිතා කරන්නේද ටැංකි 08ක් පමණයි. ඉතිරි ටැංකිවලින් ටැංකි 10ක් තෙල් සංස්ථා පරිහරණයට ලබාගැනීමට 2016 අප්‍රේල් ගත් කැබිනට් තීන්දුව අගමැතිවරයා විසින් 2016.06.06 කැබිනට් පත‍්‍රිකාවකින් අහෝසි කර තිබෙනවා. ආණ්ඩුව විසින් උත්සාහ ගනිමින් සිටින්නේ, මෙම ටැංකි LIOC ට නීති ගතකොටම ලබාදීමටයි.
තෙවැන්න සපුගස්කන්ද පිරිපහදුව අකර්මණ්‍ය වීමයි. මෙය 1969 ඉදිකළ අතර එය දැන් අබලන්ව තිබෙනවා. පසුගිය සතියේදී පරිපහදුවේ හදිසි බිඳවැටීමක් සිදුවීම මෙම ගැටලූව තීව්‍රකොට තිබෙනවා. 2007දී නව පිරිපහදුවක් ඉදිකිරීමට ප්‍රෝඩාකාරී ලෙස මුල්ගල් තැබුවද එය ඉදිවී නැහැ.
අනෙක් අතට මෙහිදී වෘත්තිය සමිති විසින් මතුකරන සාධාරණ සැකයක් වන්නේ, වත්මන් LIOC සමාගම අත්තනෝමතික ලෙස හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත‍්‍රණයක් ලෙස අර්බුද නිර්මාණය කොට ඇතිවන තත්වය ප්‍රයෝජනයට ගනිමින් බාල තෙල් නැව ගොඩබෑමට ප්‍රයත්න දරන බවයි.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
1. LIOC සමාගමට තමන්ට අවශ්‍ය පරිදි තෙල් නැව් ප්‍රතික්ෂේප කළ හැකිද? ඒවායේ පාලනය කෙබඳුද? ඒ සඳහා ගෙන ඇති පියවර කුමක්ද?
2. තෙල් නැවක් ප්‍රතික්ෂේප වූ පමණින් රටේ ජනතාව පාරේ රස්තියාදු වන අන්දමට රටට අවශ්‍ය රක්ෂිත තොග පවත්වා නොගන්නේ මන්ද? රක්ෂිත තොග පවත්වාගෙන යාමේ ක්‍රමවේදය කුමක්ද? එය කුමන කාලයකට ප්‍රමාණවත්ද?
3. තෙල් සැපයීම නොකළ සමාගම වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක්ද? මෙවැනි දේ නියාමනයට ඇති ක්‍රමවේදය කුමක්ද?
4. ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් තෝරාගත් ආයතනයට මෙම තෙල් ආනයනය පැවරීමට කටයුතු නොකරන්නේ මන්ද?
5. සපුගස්කන්ද පිරිපහදුව අලූත්වැඩියා කිරීමට පියවර නොගන්නේ මන්ද?
6. ඉදිරියේදී මෙවන් තත්ත්වයක් උදානොවීමට රජය සතු වැඩපිළිවෙළ කුමක්ද?

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial