ඉන්ධන මිල යළි ඉහළ දමයි / අද(10) රෑ සිට ගාස්තු ඉහලට

මිල ඉහළ නැංවීමෙන් පසු ජනාධිපතිවරයාගේ නියමයෙන් යළි පහත හෙලු ඉන්ධන මිල ගණන් යළි ඉහළ නංවා තිබෙනවා. ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 8කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු7කින්, ඩීසල් ලීටරයක් රු:9කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:10 කින් ඉහල දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.145, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.155,  ඩීසල් ලීටරයක් රු.118 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.129 ක් ලෙසයි.

ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ජාවකින් පසුවයි මෙසේ ඉන්ධන මිල යළි ඉහළ නංවා ඇත්තේ.

නව ඉන්ධන මිල සුත්‍රයට අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය කරනු ලබනවා. ඒ අනුව මෙලෙස මිල වැඩිවීමට හේතුව අමෙරිකානු ඩොලරයේ මිල ඉහල යාම සහ බොරතෙල් බැරලයක මිල ඉහළ යාම බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.