ඒ මැති ඇමති හැර තවත් මැති ඇමතිවරු සිටිද ?

බැදුම්කර වංචාව අද වන විට මෙරට දේශපාලනය තුල හා මාධ්‍ය තුල දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.එහි වඩාත් උච්චතම තත්ත්වය වන්නේ රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් මහජන සේවයක් වෙනුවෙන් දිවුරුම්දී සිටින මැති ඇමතිවරුන්ද අදාළ වංචාවට සම්බන්ධ සමාගම විසින් විවිධ ආයතන හරහා පොම්ප කරන ලද මුදල් ලබාගෙන තිබීමය.අද වන විට විවිධ ප්‍රමාණයන්ගෙන් එම සංඛ්‍යාව පිළිබද සදහන් වෙතත් මීට මසකට පමණ පෙර දේශපාලකයන් කිසිවකුත් තමන් පර්පචුවෙල් ටේ‍රෂරීස් වෙතින් මුදල් ලබා ගත් බවක් ප්‍රසිද්ධියේ නොවපසන්නට තරම් කූට වී සිටි බව හදුනාගත හැකිය.එහෙත් අද වන විට හෙළිවන කරුණු අනුව තමන්ට මුදල් ලැබුණු බවත් තවත් අයට ලැබී ඇති බවත් ප්‍රසිද්ධියේ කියන්නට ඔවුන්ට සිදුව තිබේ.මේ වන විට බැදුම්කර සිද්ධියට අදාළව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 4 දෙනකුගේ නාමයන් අපවිත්‍රවී තිබේ.
මුලින්ම රවී කරුණානායක මහතා ඇලෝසියස් සමග සබදතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ අතර නිවාස කුලී ගණුදෙනුවක්ද මුල් කර ගනිමින් අවසානයේ ඔහුට ඇමති ධූරයද අහිමි කරනු ලැබීය.
ඉන් අනතුරුව රුපියල් මිලියනයක මුදලක් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමකින් ලබාගත් බව අනාවරණය වූයේ අධිකරණයට ඉදිරිපත්වූ වාර්තාවක් මගිනි.දැන් එම මුදල ගෙවීමට හෝ සූදානම් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද අධිකරණය හමුවේ මේ බව අනාවරණවීමට පෙර මුණිවත රැකීම තුලින්ම හෙළිවන්නේ එක මල්ලේ කුඩු කෑ හෙයින් කට වසා ගෙන සිටිය බව නොවිය හැකිද?
ඉන් පසු කරළියට පිවිසියේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය.ඔහුට අනුව ලැබී ඇති මුදල රුපියල් ලක්ෂයකි. එයද ඔහුගේ පරිහරණයට යොදාගෙන නොමැති බව ප්‍රකාශවේ.එහෙත් එම මුදල් අර්ජුන් ඇලෝසියස්ගේය.
මෙම සිදුවීම් ජාලය ගලා යන අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට මෙන්ඩිස් සමාගමෙන් ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 30කි.එයද ඇලෝසියස්ගේ සමාගමකි. දැනට හෙළිව ඇත්තේ එපමණක් වුවද හෙලිව නොමැත්තේ නොමැති විය නොහැකිය.

ඉහල සිදුවීම් ජාලය රටම හොදින් දැන සිටියද බොහෝ දෙනා නොදැන සිටින කරුණක් වන්නේ මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයින් විවිධ අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන පක්ෂ වෙත මහා පරිමාණයෙන් මුදල් ලබා දෙන බවය.ඉකුත් ජනාධිපතිවරණය සමයේ ප්‍රධාන කඳවුරු දෙකටම එසේ මුදල් ලබාදුන් ඇතැම් ව්‍යාපාරිකයින් ගැනද බොහෝ දෙනා දනී.එසේ රටක නායකයකු තෝරා ගැනීමේදී මුදල් සහාය ලබාදීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රහසිගතව මුදල් ලබාදීම පැහැදිලිවම යම් අභිමථාර්තයන් මුල් කර ගනිමින් සිදුකරනු ලබන්නක් බව නොරහසකිඒ මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බැවිනි.මෙසේ දේශපාලන පක්ෂ වෙත රහසිගතව මුදල් සම්පාදනය කරනු ලබන්නන් පිළිබද රට හමුවේ අනාවරණ නොකර යම් පුද්ගලයකු මුදලක් ලබාගෙන ඇත්නම් එය පැහැදිලවම වංචනික අරමුණකින් බව සැලකිය හැකිව තිබේ. ඒ අනුව එය අල්ලසක් ලෙසද නම් කළ හැකිය.
දකුණු කොරියාවේ පාර්ක් ගියුන් හයි ජනාධිපතිනිය ගෙදර යවන ලද්දේ එසේ පුද්ගලික වාසි අපේක්ෂාවෙන් ව්‍යාපාරික මිතුරියකට වාසි අත් කර ගැනීමට ඉඩ දීම මතය.අද ඇය සිර දඩුවම් විදියි.
ජපානයේ මන්ත්‍රීවරු සුලු හෝ වරදක් සිදුවූ අවස්ථාවල ධූරයෙන් තමාම ඉල්ලා අස්වන අතර රට හමුවේ හඩා වැටේ.ඒ සදාචාරයක් සහිත රටවල තත්ත්වයයි.
එහෙත් ලංකාවේ එවන් තත්ත්වයක් නොවේ. එහෙයින් අල්ලස අතටම හසුවූ පසුවද කියන්නට ඇත්තේ කිතුල් ගසට නැග තණකොල සෙවූ බවය.එහෙත් රටේ සාමාන්‍ය ජනතාවට එසේ නොවේ. පොල් ගෙඩියක් , අඹ ගෙඩියක් කුසගින්න වෙනුවෙන් සොරකම් කරන අසරණයකු කුදලාගෙන යාමට පොලිසියද සැදී පැහැදි සිටී.කම්බ හොරු සුඛ විහරණ විදිති. එය ජනතාවගේ අවාසනාවකි.එවන් රටක් කවරදාක නම් දියුණුව කරා යනු ඇත්ද ? නීති සදන්නෝද ඔවුන් වන බැවින් නීතිය කැඩීමෙන්ද ඔවුන්ට දොසක් නොවන බව පැහැදිලිය.වරදක් කරන කවරෙක් වුවද කුදලාගෙන ගොස් නීතිය ක්‍රියාත්මක කරන්නට බල කරන රාජ්‍ය නායකයින්ද ලංකාවේ මෙතෙක් පහළවී නොමැත.එහෙයින් ඒ මැති ඇමති හැර තවත් ඇත්තෝ ලයිස්තුවේ හිදී දැයි බලා සැනසෙනු හැර ජනතාවට කළ හැකි අන් යමක් නොවේ.එහෙත් සදාචාරය ඇත්තෙකුට ධූරය හැර යාමට එල්ලවී ඇති චෝදනා පමණටත් වැඩි බව ඔවුන්ගේම හෘද සාක්ෂිය හඩ නගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *