ඔස්ටේ්‍රලියාවෙ එහෙම වුනත් ලංකාවේ එහෙම නෑ ..චන්දිමාල්…ලැජ්ජයි

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ගමන් කරමින් පවතින්නේ දැවැන්ත ආගාධයකට බව පසුගිය වසර කිහිපය තුලම ලෝකය වෙත ප්‍රදර්ශනය කරමින් තිබේ.දැවැන්ත පරාජයන් අකණ්ඩව විදගනිමින් එක්දින ටෙස්ට් හා 20 යි 20 ශ්‍රේණිගත කිරීම් තුලද ශ්‍රී ලංකාව ඇදවැටී තිබීම තුලින් එම පරිහානිය මනාව විද්‍යාමාන වේ.එහෙත් කෙතරම් පැරදුණද ලාංකික ක්‍රීඩා ලෝලියා සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ ජීවගුණයකින් යුතුව වැදගත් ආකාරයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් ජාත්‍යන්තර පිටියේ හැසිරී ඇති හෙයිනි.
එහෙත් අනපේක්ෂිත ආකාරයට මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්වරුන් ලෙස නම් ලද ජීවගුණයෙන් යුතු කණ්ඩායම ලෙස සම්මානයටද පාත්‍රවූ ලංකාවේ ක්‍රිකට් ඉදිරියේදී දැවැන්ත මඩ පැල්ලමක් මේ වන විට පවරා තිබේ. ඒ අනු කවරකු විසින් හෝ නොව ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් විසිනි. ඔහු දක්ෂ ක්‍රීඩකයකු වන අතර ඔහු සමග අපට කිසිදු පුද්ගලික ගැටලුවක් නැත.එහෙත් මෙය කෙලින්ම කිව යුතුය.නායකයකු ලෙස පරාජය විදගත නොහැකි අයකු වංචනික ලෙස තරග ජය ගැනීමට උත්සාහ කරනු විවිධ අවස්ථාවල දැකගත හැකිය.එහෙත් ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා එවන් මට්ටමකට ඇදවැටීම ගැන අපට ඇත්තේ බරපතල කණගාටුවකි.
එය එක් සිදුවීමක් පමණක් වුවද එම වරද වසා ගැනීම සදහා කණ්ඩායමේ සමස්ථ ක්‍රීඩකයින් යොදා ගැනීම චන්දිමාල් විසින් සිය අසාර්ථකභාවය මෙන්ම වංක භාවය ප්‍රදර්ශනය කිරීමක් ලෙස හදුනාගත හැකිය.කොදෙව්වන්ටf එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී චන්දිමාල් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ලවූ විට ඊට යම් ප්‍රතිචාරයක් දක්වා තරගය ඉදිරියට ගෙනයාම නිවැරදි නායකයකුගේ ලක්ෂනයක් බව අමුතුවෙන් කිව යුතු නැත.එහෙත් වරද තමන් අත තිබියදී සමස්ථ කණ්ඩායම පිටියෙන් පිටත තබා ගැනීමට තරම් හැකියාවක් චන්දිමාල්ට හිමිවන්නේ නම් එය කණගාටුදායකය.
ඩැරල් හෙයා විසින් මුරලිදරන්ට පන්දුව දමා ගසන බවට අසාධාරණ චෝදනාවක් එල්ල කළ අවස්ථාවේ එවක ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගත් පියවර අදටද ප්‍රශංසනීයය.ඒ නායකයා විසින් නිර්දෝෂි සගයකු වෙනුවෙන් කැපවීම හේතුවෙනි.එහෙත් චන්දිමාල් තමන් චූදිතයා වෙමින්ම එය සැගවීමට කණ්ඩායම භාවිතා කර තිබුණේ මුග්ධ ආකාරයකිනි.
එහිදී කණ්ඩායමේ පුහුනුකරු චන්දික හතුරුසිංහ මෙන්ම කළමනාකර අසංක ගුරුසිංහ පවා වගකීම් විරහිතව කටයුතු කර ඇත.ඒ අනුව අයි සී සී ය විසින් ඔවුන්ට එක්දින තරග 8ක හෝ ටෙස්ට් තරග 4ක තහනමක් පැනවීම නිසැකය.එහෙත් එය ප්‍රමාණවත් වන්නේ නැත.ඒ චන්දිමාල් විසින් කෙලෙසන ලද්දේ මෙතෙක් ක්‍රිකට් ලොව සුපිරිසිදු නාමයක් වූ ලංකාවේ නාමයයි.ඒ අනුව තවදුරටත් නායකත්වය දැරීමට සදාචාරාත්මක අයිතියක් ඔහුට ඇති බව අප නොසිතන්නෙමු.
එබැවින් කෙතරම් පරාජයන් ලැබුවද ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය ලබන ජීවගුණයෙන් යුතු කණ්ඩායමක් අදටද ලංකාවට අවශ්‍ය කර තිබේ.ඊට තමන් නොගැලපෙන බව දිනේෂ් චන්දිමාල් ඔප්පු කර ඇත.ඒ අනුව ක්‍රිකට් ආයතනයට ආසන්නතම උදාහරණයක් පවතී,ඒ ඔස්ටේ්‍රලියාවයි.තමන්ගේ සුපිරිතම ක්‍රීඩකයින් දෙපල වූ ස්ටීව් ස්මිත් හා ඩේවිඩ් වර්නර් වසරකට ගෙදර යැවීමට තරම් නිර්භීථ භාවයක් එම ආයතනය සතුවිය.එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ටේ්‍රලියාව යම් පසුබෑමක් ලබා ඇති බවද රහසක් නොවේ.එහෙත් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය එම පාඩුවට වඩා රටේ ගෞරවය ඉහලින් ඔසවා තිබේ.එහෙත් ඔස්ටේ්‍රලියාවේ එසේ වුවත් ලංකාවේ එසේ වන්නේ නැත.එය ඔප්පු කරන ලද්දේ චන්දිමාල් බේරා ගැනීමට පරීක්ෂනයටත් පෙරම නිවේදනයක් නිකුත් කිරීමෙනි.එක් අතකින් එහි වරදක් ද නැත.වරදක් කළත් ඒ අපේ එකෙකි. එහෙත් එසේ සිතීම වරදකි.රටට හානියකි.
ක්‍රීකට් බලදාරීන්ට කොන්දක් ඇත්නම් චන්දිමාල් විසින් කැත කළ ලංකාවේ ක්‍රිකට් නාමය පිරිසිදු කිරීමට තවමත් කාලය ඉතිරිව තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අප ආදරය කරන්නාසේම එය අවමානයට පත් කරන්නන්ද අප ප්‍රතික්ෂේප කරමු.

චන්දිමාල්…. ලැජ්ජයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *