කමල් ගුණරත්නගේ ප‍්‍රකාශය ඒකාබද්ධයට අගුණ වෙලා

විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් පසුගිය සතියේ කරන ලද ද්වේෂසහගත ප‍්‍රකාශ නිසා ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් හටගෙන තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පෙළේ දේශපාලන කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් අවධාරණය කර ඇත්තේ මේ හරහා තමන්ගෙන් ජනතාව ඈත්වීම වැළැක්විය නොහැකි බවයි. එසේම ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයට පහර දීමට ආයුධ සැපයීමක් මෙමඟින් සිදු වන බවත්, එම නිසා මෙවැනි ප‍්‍රකාශ සිදු කරන්නන් වහාම ක‍්‍රියාකාරී කටයුතුවලින් ඉවත් කළ යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇත.

ඩලස් අලහප්පෙරුම සහ ප‍්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද මේ තත්ත්වය පැහැදිලි කර ඇති අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා කිසිවක් පවසා නැතැයි වාර්තා වේ. එසේම මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් සහ බැසිල් රාජපක්ෂගෙන් විමසීමට තමන් කටයුතු කරන බව ද අවසානයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ මන්ත‍්‍රීවරුන්ට පවසා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මින් ඉදිරියට මෙවැනි ප‍්‍රකාශ සිදු කරන්නේ නම් තමන්ට ඒකාබද්ධ විපක්ෂයේ රැඳී සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බව ද හිටපු ජනාධිපතිවරයා හමුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *