කවදාවත් ඇලෝසියස් රැක්කේ නැහැ / දයාසිරි කියයි

අර්ජුන් ඇලොසියස් කිසිදු අවස්ථාවක ආරක්ෂා කිරීමට තමන් කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මාධ්‍ය වෙත නිවේදසනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කරනවා.මේ ඊට අදාළ සම්පූර්ණ ප්‍රකාශයයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයිනුත්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමත් හවුලේ සිදු කළ කූප්‍රකට මහ බැංකු මංකොල්ලයෙන් උපයාගත් මුදලින් රුපියල් දස ලක්ෂයක් මා හටත් අල්ලස් වශයෙන් දී තිබෙන බවට මඩ ප්‍රචාරයක් සිදු කරමින දේශපාලන වශයෙන් මාගේ චරිතය ඝාතනය කිරීමේ සැලසුමක් මේ වන විට දියත්ව තිබේ.
මේ රටේ දේශපාලන තක්කඩියන් අර්ජුන මහේන්ද්‍රන්ලා හා ඇලෝසියස්ලා සමඟ එක්ව කළ මහා වංචාවෙන් එක් සතයකුදු හෝ මුදලක් මාගේ සුඛවිහරණය සඳහා ලබා ගන්නට තරම් මා දේශපාලන අඳබාලයෙකු නොවේ.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් 2015 මහ මැතිවරණය කැඳවනු ලැබුයේ එම වසරේ ජූලි 05 වැනිදාය. ඒ සඳහා තරඟ කරන්නට මා නාම යෝජනා දුන්නේ ජූලි 13 වැනිදාය.
ඔනෑම ඡන්ද අපේක්ෂකයකු මැතිවරණයට තරඟ කරන විට හිතමිතුරන්, ව්‍යාපාරිකයන් හා සුබපතන්නන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා මූල්‍යමය පරිත්‍යාගයන් සිදු කිරීම එදා පටන්ම ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතියේ පැවැතගෙන ආ සම්ප්‍රදායකි. මේ සම්ප්‍රදායට අනුව එවර පමණක් නොව මා ඉදිරිපත් වූ සෑම මැතිවරණයකදීම ප්‍රචාරක කටයුතු සඳහා අනුග්‍රාහක දායකත්වයන් ලබාදුන් අය එමටය. අනෙකුත් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්ද තත්ත්වය එයාකාරමය.
අර්ජුන් ඇලෝසියස් මහතාද මගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් මූල්‍යමය දායකත්වයක් ලබාදුන් අයගෙන් කෙනෙකි. අධිකරණයේදී වාර්තා වූ පරිදි ඒ සඳහා ඔහු මා අමතා තිබෙන්නේ 2015 ජුලි මස 10 වැනිදාය. ඔහුගෙන් ලැබුණු රුපියල් දසලක්ෂයක මුදල් චෙක්පත මාරු කරවාගෙන තිබුණේ 2015 ජූලි මස 13 වැනිදාය.
මේ සිදුවීම වන විට මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත්, කෝප් කමිටු සාමාජිකයෙකුවත් නොව මන්ත්‍රීධූර අපේක්ෂකයෙකු පමණි. 2015 මහ මැතිවරණයෙන් මා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2015 අගෝස්තු 17 වැනිදාය.
පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු මමද කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස පත්වීම් ලදිමි. මහා බැඳුම්කර වංචාව හෙළි කරගත් කමිටුවේ සාමාජිකයකු වශයෙන් ඒ මහා මංකොල්ලය අනාවරණය කර ගැනීමට හැකි සෑම සහායක්ම නොපිරිහෙළා කෝප් කමිටුව වෙත ලබාදෙන්නට මම කටයුතු කළෙමි. කෝප් කමිටු වාර්තාව ඒ සඳහා සාක්ෂි දරනු ඇත.
කෝප් කමිටු විභාගය පැවැත්වෙන වකවානුවේ දිනෙක අර්ජුන් ඇලෝසියස් මහතා මට දුරකථනයෙන් කතා කර මා හමුවීමට පැමිණියේය. එහිදී ඔහු ඉල්ලා සිටියේ තමන් නිර්දෝෂී පුද්ගලයෙක් බැවින් ඔහුව ආරක්ෂා කරන හැටියටයි. ඔහු දේශපාලන වශයෙන් මා හට කොතරම් උදව් කර තිබුණද මෙම ගනුදෙණුවට අදාළව ඔහු වැරදිකරුවකු බව දන්නා හෙයින් කිසිදු උදව්වක් කළ නොහැකි බව මම ඔහුට එකහෙළාම දැනුම් දුන්නෙමි.
පසුව මට ලැබුණු දුරකතන ඇමතුම් දෙකක් ගැන බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ පසුව ඒ පිළිබඳව මා කැබිනට් මාධ්‍ය හමුවේදීත් අනෙකුත් මාධ්‍ය සාකච්ඡාවලදීත් අනාවරණය කර ඇත්තෙමි. එසේ නොමැතිව බැඳුම්කර හොරමුල ආරක්ෂා කිරීමේ අරමුණින් පොත් ලියන්නට මා කටයුුතු කර නැත. කෝප් කමිටුවේදී තහවුරු වූ කාරණා එසේ නොවේ යැයි කියන්නට මා පාද සටහන් දැමූ කල්ලියේ සාමාජිකයකුද වී නැත. එපමණක් නොව නඩු පවරන්නටද කටයුතු කර නැත. මහ බැංකු බැඳුම්කර වංචාව මුළුමනින්ම හෙළි කරන්නට මා කැපවූවා මිස සමහරුන් මෙන් ඒ වංචනිකයන්ගේ ගැලවිඡ්ඡාව වෙන්වෙන් අබමල් රේණුවකින් හෝ සහාය දෙන්නට මා කටයුතු කර නැත.
බැඳුම්කර වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ පිටු විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජනාධිපති ලේකම්වරයා භාරයේ තිබේ. බැඳුම්කර ගනුදෙනුව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත් වකවානුව තුළ පර්පචුවල් සමාගමෙන් මුදල් ලබාගත් පාද සටහන් කල්ලියද ඇතුළුව 118 දෙනෙකුගේ නම් සඳහන්ව තිබේ.
එසේ බැඳුම්කරය හමුවේ රෙදි ගලවාගත් නිර්ලජ්ජිතයින් සිටියදී මාගේ චරිතය ඝාතනය කරන්නටත් අපහාසයට ලක් කරන්නටත් දේශපාලන විරුද්ධවාදීහු කලඒළි බසිමින් සිටිති. ජුනි 15 වැනිදාවක් ගැන කියමින් වාචාල කතා කියන බන්දුලාල් බණ්ඩාරිගොඩට දින වකවානු පවා වැරදී ඇත. මට මඩ ගසමින් රට වටේ යන රන්ජන් රානායක අඩුම තරමින් කෝප් කමිටු වාර්තාවට අත්සන් තැබීමටවත් කටයුතු කලේ නැත. ඒදා සබරමුවෙන් පළාත් සබාවට කරග කරද්දිත් 2015 මහ මැතිවරණ ඡන්ද ව්‍යාපාරයේදීත් රන්ජන් රාමනායක වියදම් කලේ තමන්ගේම මුදල්ද?
ඔහු වෙනුවෙන් පමනක් නොව මෙරටේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණවලට පමණක් නොව පළාත් සභා හා ප්‍රාදේශිය සභා මැතිවරණවලට පවා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදෙන පිරිස එමට සිටීති. 2010 මහ මැතිවරණයෙදී සරත් ෆොන්සේකාගේත් 2015 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේත් ප්‍රචාරක ව්‍යාපාරයට ලැබුණු මුල්‍ය දායකත්වය කොපමණ දැයි ගණන් බලා තිබේද? ඒ් ගැන කිසිවෙක් කටක් ඇර කතා කර තිබේද?
මෙරටේ ඉතිහාසය පුරාවටම පැවැති මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් සදහා ඒ් ඒ් අපේක්ෂකයන්ට හිතවතුන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය දායකත්වයන් කොපමණද යන්න අනාවරණය කිරීමක් මෙතෙක් සිදුවී නැත. සමහරු ලැබෙන සමස්ත මුදලම ඡන්ද ව්‍යාපාරයට වියදම් කරද්දී තවත් සමහරු ඒයින් වැඩි කොටසක් ප්‍රතිලාභයක් ලෙස ඉතිරි කරගන්නට පෙලබී සිටින බවද රහසක් නොවේ.
ඒබැවින් මින් ඉදිරියට හෝ ඒසේ මුල්‍යමය දායකත්වයෙන් හෙළිදරව් කළ යුතු නීතිමය වාතාවරණයක් මේ රට තුල ඇති කරන්නේ නම් යෙහෙකිය. මන්ද ඒ්වායින්ද ගසා කන්නට මෙරටේ දේශපාන දූෂිතයන්ට තවත් ඉඩ නොතැබිය යුතු නිසාය.
වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැය් යන්න පැහැදිලි කර ගැනීම මෙරට සබුද්ධික ජනතාවට ඒතරම් අසිරු නැත. අගමැති රලින් වික්‍රමසිංහ මහතාට ඒරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ඒක්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හඹා යමින් ඔවුන්ට අභූත චෝදනා ඒල්ල කරන නිර්ලජ්ජිත කුහක දේශපාලන පසුබිමක් නිර්මාණය කරමින් පවතින බව ඉතා පෑහැදිලිය. ඒහි අවසාන අරමුණ අපගේ චරිත ඝාතනය කරමින් අප නිහඩ කරන්නට උත්සාහ කිරීම පමණක් නොව, ඉදිරියේදී අප හා ඒක්වන්නට සිටින දැනටත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් බිය වැද්දීමත්, අගමැතිවරයාට ඒරෙහි වෙමින් සිටින ඒක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම බිය වැද්දවීමත් මේ මඩ ව්‍යාපාරයේ තවත් ඒක් පරිච්ඡේදයකි.
මෙසේ මඩ ප්‍රහාර එල්ල කරමින් අප නිහඩ කරන්නට කවරකු හෝ උත්සාහා දරන්නේනම් ඒය ඔවුන්ගේ මුග්ධ දේශපාලන අනුවණකමකි. මේ ප්‍රහාරයන් හමුවේ තව තවත් ශක්තිය හා පන්නරය ලබමින් රටත්, ජනතාවත් වෙනුවෙන් තවදුරටත් දෙපයින් නැගී සිටිනවා මිස දේශපාලන උලමුන් අබියස දණින් වැටෙන්නට අප සූදානම් නැති බවද ඒ් සියල්ලන්ටම දන්වනු කැමැත්තෙමි.

නීතිඥ දයාසිරි ජයසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *