ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ගෙනියන්නේ කනත්තටද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ දිල්ලි නගරය ලෝකයේ නගර 1600 ක්‌ අතුරින් වායු දූෂණය (Air Pollution) ඉහළම නගරයයි. මේ තත්ත්වය නිසා දිල්ලියේ මහ ඇමැති අරවින්ද කෙජීරිවාල් තමන්ගේ නගරය හඳුන්වන්නේ “ගෑස්‌ කුටීරයක්‌” (Gas Chamber) ලෙසය. මේ ගෑස්‌ කුටීරයේ පයින් ඇවිදගෙන යැම පවා මාරාන්තිකව තිබියදී එහි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයක්‌ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය තීන්දු කොට තිබිණි. දැන් එම මාරාන්තික තීන්දුව ගැන කතා කිරීම හොඳටම ප්‍රමාද වැඩිය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලකයන්ගේ මේ ‘ගොන් පාට්‌’ නිසා ඊයේ (06 දා) දිල්ලි ටෙස්‌ට්‌ තරගය අවසන් වූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම ඇදුම රෝගීන් බවට පත්කරමිනි.

දිල්ලියේ මෙවැනි මාරාන්තික නාඩගමක්‌ සිදුවෙද්දී ශ්‍රී ලංකාවේ ද අපූරු “ක්‍රිකට්‌ කෝලමක්‌” සිදුවිය. ඒ ඉතිහාසයේ පළමු වතාවට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් තොරව ජාතික එක්‌දින ක්‍රිකට්‌ කණ්‌ඩායම ඉන්දියාව බලා යැමය. අවසානයේ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කටුනායක ගුවන්තොටුපළේදී කණ්‌ඩායම ආපසු හරවා යෑවීමට පියවර ගත්තේය. ඇමැතිවරයාගේ එම තීන්දුව අගය කළ යුතුය. මන්ද, රටේ ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය නොමැති කණ්‌ඩායමක වගකීම ගන්නේ කවුද? මෙරට ක්‍රීඩා නීතිය මෙන්ම ගෝලීය සම්ප්‍රදාය අනුව ද ජාතික කණ්‌ඩායමක්‌ ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමේදී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්යය. එම නීතිය දැන දැනත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය මෙවැනි “කෝලමක්‌” නැටුවේ රෙදි ඇඳගෙන දැයි අපට අසන්නට සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ ජනතාව සහ ක්‍රීඩකයන් ආදරයෙන් රැකබලාගත් ‘ක්‍රිකට්‌’ ක්‍රීඩාව මේ මොහොතේ තිබෙන්නේ බොරැල්ල කනත්ත ළඟ වැට මායිමේය. මේ ක්‍රිකට්‌ අවමඟුලේ අවමංගල්‍ය අධ්‍යක්‌ෂණය ද ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකරන නිසා දැන් තිබෙන්නේ වළ කැපීම හෝ ආදාහනය කිරීමේ තීන්දුව ගැනීම පමණි. මෙම අවමඟුල නතර කර මේ ක්‍රිකට්‌ මළකඳ නැවත මෙට්‌ලන්ඩ් පෙදෙසට ගෙනගොස්‌ එයට පණදීමේ හැකියාවක්‌ ක්‍රීඩා ඇමැතිවරයාට තිබේ. එම තීන්දුව ගැනීමට වර්තමාන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට කශේරුකාවක්‌ ඇති බව අපගේ විශ්වාසයයි. මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට නම් දයාසිරි ජයසේකර ආදර්ශයට ගත යුතු හොඳම පුද්ගලයා හිටපු ක්‍රීඩා ඇමැති, දිවංගත ගාමිණී දිසානායක මහතාය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ පරිපාලනය හොඳින්ම සිදුකළ ක්‍රීඩා ඇමැතිවරයා ගාමිණී දිසානායකය. ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පරිපාලනය දක්‌ෂ කළමනාකරුවන් අතට පත්කර ඔහු ඔවුන්ට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදුන්නේය. ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනන්නේ එලෙස ගාමිණී දිසානායක ක්‍රිකට්‌ ක්‍රීඩාවට දැමූ ශක්‌තිමත් අත්තිවාරම මතය.

වර්තමාන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට්‌ ගොඩගැනීමට සැලසුමක්‌ සකස්‌ කර තිබේ. ඇමැතිවරයා විසින් පත්කළ ක්‍රිකට්‌ ගොඩගැනීමේ කමිටුව ද ඔවුන්ගේ යෝජනා ඇමැතිවරයාට පිළිගන්වා තිබේ. කීර්තිමත් පරිපාලකයකු වන හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ මහේල ජයවර්ධන, කුමාර සංගක්‌කාර, අරවින්ද ද සිල්වා වැනි ගෝලීය ක්‍රිකට්‌ සලකුණුය. එමනිසා ඔවුන්ගේ යෝජනා වඩා වටිනාම යෝජනා විය හැකි බව අපගේ මතයයි.

දැන් කළ යුත්තේ එම සරුසාර යෝජනා ඉතා කඩිනමින් ක්‍රිකට්‌ පොළොවේ රෝපණය කිරීමය. වර්තමාන ක්‍රිකට්‌ ආයතනයේ “කෝලම් නැට්‌ටුවන්” සමඟ මෙය කළ නොහැකි බව දැනටමත් ඔප්පු වී අවසන් ය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙම අභියෝගය ජයගැනීමට නම් කළ යුත්තේ දක්‌ෂ කළමනාකරුවකුට ක්‍රිකට්‌ ආයතනයේ පරිපාලනය භාරදීමය. එය ප්‍රමාද වීම, ක්‍රීඩා ඇමැතිවරයාගේ වළ ඔහු විසින්ම කපා ගැනීම ඉක්‌මන් කරනවා ඇත.(Divaina)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *