You are here
Home > ආසන්න-පුවත් > කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවා කොලඹට පැනලා

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවා කොලඹට පැනලා

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට සහ විහාරවාසී වීදාගම සෝභිත හිමියන්ට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වන අසේල බණ්‌ඩාර සහ ඔහුගේ සොහොයුරා කතරගම ප්‍රදේශය අතහැර කොළඹට පලා ගොස්‌ ඇතැයි පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරු ලැබුණු ස්‌ථාන කීපයක්‌ පොලිසිය විසින් වටලා පරීක්‍ෂා කළද ඔවුන් එම ස්‌ථානවල නොසිටි බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් අටක්‌ යොදවා ඇත. කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවිය හිටපු ප්‍රධාන කපුවාගේ නිවසේ දරමැස්‌සේ සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය.

මේ අතර වෙඩි තැබීම සඳහා කපුවා ඇතුළු තිදෙනා පැමිණි මෝටර් රථයද එම කපුවාගේ නිවසේ නතර කර තිබියදී පොලිස්‌ භාරයට ගෙන තිබිණි.

කිරිවෙහෙරේ මහසෙන් දේවාලයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් කොබවක ධම්මින්ද හිමියන් සහ ප්‍රධාන කපුවා අතර කාලයක පටන් ආරවුල් පැවැති අතර අධිකරණය මගින් දේවාලයේ හිමිකාර නිවස විහාරාධිපති හිමියන් වෙත පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන කපුවා නාහිමියන් සමඟ දැඩි වෛරයකින් පසු වී ඇති අතර මෙම ප්‍රහාරය ඔහු විසින් සැලසුම් කර ඇති බව හෙළි වී ඇත.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා ප්‍රධාන කපුවා ඔහුගේ සොහොයුරා සහ කුලී වෙඩික්‌ කරුවකු පැමිණ ඇති බව ද වෙඩි තබා ඇත්තේ ප්‍රධාන කපුවාගේ සොහොයුරා සහ කුලියට ගත් වෙඩික්‌ කරුවා විසින් බවද පොලිසිය පවසයි.

ප්‍රහාරය සඳහා ගිනි අවි දෙකක්‌ යොදාගෙන ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top