කුකුළු මස් වල වස / පර්යේෂණයකින් හෙළිවෙයි

“අනේ පුතේ ඉක්මනට ලොකු වෙන්න නම් බත් විතරක් කාලා බෑ. මේ මස් කෑල්ලත් කන්නැයි බොහෝ මව්වරු තම දරුවන්ට බත් කැවීමේදී කියති. එමෙන්ම අසීරුවෙන් මුදල් සොයා විශේෂ ආහාරයක් ලෙස ගෙදරට ගෙන එන කුකුළු මස් කිලෝවේ පීකුදු කොටස වෙන්කර ගෙන දරුවාගේ බත් පිඟානට බෙදීමට අම්මලා අමතක නොකරති. තවත් පවුල්වල පීකුදු කොටස වෙන්වනුයේ ගෙදර සිටින ගැබිනි මව හෝ රෝගී දෙමාපියන් වෙනුවෙනි. ඒ කුකුළු මස් සහ විශේෂයෙන්ම පීකුදුවල ඇති ඉහළ ‍ප්‍රෝටීන ගුණය ගැන අප දිගුකලක සිට දන්නා බැවිනි. එහෙත් එලෙස ළබැඳියන්ට ලබාදෙනුයේ මරණීය විෂ කැටිවූ දෙයක් බව අප නිකමටවත් සිතන්නේ නැත. නමුත් දේශීය වෙළෙඳ‍පොළේ ඇති කුකුළු මස් ඔබ සිතනා තරම් සෞඛ්‍යාරක්ෂිත නොවනා බව දැන් තහවුරුව ඇත. මේ ඔබ කියවන්නේ දිව පිනවන රසට වස මුසු වීමේ එකී කතාන්දරයයි.
ලාංකික සමාජය තුළ ගොවිපලවල ඇති කරන කුකුළන්ගේ මස් පිළිබඳව මුල් කාලයේ කිසිදු සැකයක් තිබුණේ නැත. එකල අප එය සැලකුවේ වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙසය. ඇතැම්හු එය ගම් කුකුළු මස්වලටත් වඩා සෞඛ්‍යවත් ආහාරයක් ලෙස සැලකූහ. නමුත් පසුකාලීනව ගොවිපළවල කුකුළන්ට ලබාදෙන වර්ධක හෝමෝන නිසා මිනිසුන්ට අධික ස්ථුලභාවය වැනි රෝග ඇතිවන බවත්, දැරියන් ඉක්මනින් වැඩිවිය පත්වන බවටත් සමාජයේ මත පැතිරෙන්නට විය. කුකුළු මස් පිළිබඳ ලාංකිකයෝ සැකෙන් බලන්නට පුරුදු වූයේ ඉන් පසුවය.
කටින් කට පැතිරෙන්නට වූ කතා නිසාම කුකුළු මස් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක  නියුතුවීම කාලීන අවශ්‍යතාවක් විය. ඒ කුකුළු මස්වල යම් අහිතකර සංඝටකයක් වේ නම් ඉන් පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමටත් එවැන්නක් නොමැති නම් කටකතා මගින් මස් නිෂ්පාදන ආයතනවලට වන හානියද මගහැරීමටත් එවැනි  පරීක්ෂණයකට හැකියාව ඇති බැවිනි. අවසන එකී ජාතික වගකීම පැවරුණේ මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයටය. එහි ‍පෝෂණය හා ෙජෙව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකය මගින් එකී පරීක්ෂණ මීට කලකට පෙර ආරම්භ කරන ලදී. එහි අංශ ප්‍රධානී ආචාර්ය රුවිනී ලියනගේ ඒ පිළිබඳ පවසනුයේ මෙසේය.
වෙළෙඳ‍පොළේ තිබෙන කුකුළු මස් නිෂ්පාදනවල මිනිස් සිරුරට හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු වන බවට සමාජ මතයක් ගොඩනැගුණා. එබැවින් විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ලෙස මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීම අපේ වගකීම වුණා. නමුත් මෙවැනි කටයුත්තකට විශාල සම්පත් දායකත්වයක් අවශ්‍යයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බරණ ජයවර්ධනත් අපට මේ පරීක්ෂණයට විශාල දායකත්වයක් ලබාදුන්නා
මෙම පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳ‍පොළේ අලෙවි වන කුකුළු මස් නිෂ්පාදනවලින් නියැදි ලබා ගැනීමට සිදුවිය. ඒ සඳහා ප්‍රධාන සන්නාම තුනක පමණ  නියැදි වෙළෙඳ‍පොළෙන් ලබා ගත් බව ආචාර්ය රුවිනි ලියනගේ පවසන්නීය. ඊට අමතරව එම නියැදි විවිධාකාර මාංශ නිෂ්පාදන ආවරණය වන පරිදී ලබා ගන්නා ලදී. ඒ අනුව ප්‍රධාන වශයෙන් කුකුළන්ගේ ළැම (Brest), පීකුදු (Liver) සහ වැලි බොක්ක (Gizzard) යන කොටස්වල නියැදි ලබා ගැනීම සිදුවිය. මෙහිදී මෙම වර්ග තෝරා ගැනීමට විශේෂ හේතුවක්ද විය. ඒ අතර ළැම, පීකුදු හා වැලි බොකු සඳහා වෙළෙඳ‍පොළේ පවතින ඉහළ ඉල්ලුමක් පැවැතීමද විශේෂයෙන් සලකා බලන ලදී.
මෙවැනි පර්යේෂණයක ප්‍රතිඵලය වඩාත් නිවැරදි වීම අනිවාර්යය. එබැවින් මේ පර්යේෂණය සඳහා ජාත්‍යන්තර තත්ත්වයේ උපකරණ මෙන්ම පර්යේෂණ ක්‍රමවේදයන්ද භාවිත කරන ලදී.
දේශීය වෙළෙඳ‍පොළෙන් ලබාගත් කුකුළු මස් නියැදි පරීක්ෂණයට ලක් කිරීමේදී ලැබුණු ප්‍රතිඵලය පුදුම එළවන සුලු විය. ඒ එක් නියැදියක ‘ආසනික්’ නම් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටම ඉක්මවා ගොස් ඇති බව පර්යේෂණවලින් තහවුරු වූයේය. මෙය වූ කලී ඉතා බරපතළ තත්ත්වයකි. මන්ද යත් එලෙස ආසනික් ලෝහය අධි සාන්ද්‍රණයෙන් වාර්තා වූයේ කුකුළු පීකුදු (Liver)වලය. මෘදු බව සහ රසය නිසා කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයන් තෙක් සෑම පරාසයකම ජනයා පීකුදු ආහාරයට ගැනීමට දක්වනුයේ මහත් රුචියකි. එවැනි ආහාරයක ආසනික් වැනි විසක් පැවතීම ඉතා භයානක බව අමුතුවෙන් කිව යුතු නොවේ.
පර්යේෂණ කණ්ඩායමේ ඊළඟ අභියෝගය වූයේ කූඩුකර ඇති කරනා කුකුළන්ගේ සිරුරට ආසනික් ඇතුළු වූයේ කෙසේද යන්න සෙවීමයි. මෙහිදී පර්යේෂණ කණ්ඩායමේ සැකය මුල සිටම යොමු වූයේ කුකුළන්ට ලබාදෙන ආහාර පිළිබඳවය. ඒ පිළිබඳ ගැඹුරින් කළ සොයා බැලීමේදී වාණිජ කුකුළු ගොවිපළවල භාවිත කරනා ප්‍රධාන ආහාර දෙකක් හඳුනා ගැනීමට
පර්යේෂණ කණ්ඩායමට හැකිවිය. ගොවිපළවල කුකුළෝ ජීවිත කාලය පුරාම මෙකී ආහාර ද්‍රව්‍ය දෙක මත යැපෙන අතර එකී ආහාර සඳහා කාබනික හා ඛනිජ ලවණද එක් කරනා බව තහවුරු කර  ගැනීමටද පර්යේෂණ කණ්ඩායමට හැකි වන්නේය. ඒ අනුව එම ඛනිජ ලවණ එක් කිරීමේදී ඊයම් (Pb) ආසනික් (As) කැඩිමියම් (Cd) යන බැර ලෝහ කුකුළු ආහාරවලට එක්වේදැයි පර්යේෂකයෝ සොයා බැලූහ. ඒ සොයා බැලීමේදී බ්‍රොයිලර් කුකුළන්ට දෙනු ලබන ඇතැම් ආහාරවල එම බැර ලෝහ අධිකව අඩංගු බව තහවුරු කර ගත හැකි විය.
මෙම පර්යේෂකයන්ගේ  අවධානය ඊළඟට යොමු වූයේ ගොවිපළ කුකුළන්ට වැලඳෙන විවිධ ඌනතා රෝග වළකාලනු වස් කුකුළු කෑම සමග අංශුමාත්‍ර ලෙස මුසු කරනා කොපර් (Cu) මැග්නීසියම් (Mg) වැනි මූලද්‍රව්‍ය ප්‍රමාණය ඉක්මවා කුකුළු කෑම තුළ අඩංගු දැයි සොයා බැලීමටය. එකී ප්‍රතිඵල අනුව කුකුළු මස්වලට ආසනික් මුසුවනුයේ අන් කිසිවක් නිසා නොව කුකුළු ආහාරවලට එක් කරනා පෙරකී මූලද්‍රව්‍ය නිසා බව තහවුරු විය.
සත්ව ආහාර සඳහා ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම, පිරිසිදු පානීය ජලය කුකුළන්ට ලබා නොදීම වැනි කරුණු නිසා කුකුළන්ගේ ආසනික් ශරීරගත වීම වඩාත් වේගවත් වෙයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අප මේ පිළිබඳව කළ විමසීමේදී කුකුළු මස් සඳහා SLS1161-2003 (paultry Meat) යන ප්‍රමිති සහතිකයද කුකුළු ආහාර සඳහා SLS244 (Compund paultry Feeds) යන ප්‍රමිති සහතිකයද පවතින බව සඳහන් විය. එහෙත් වෙළෙඳ‍පොළේ විවිධ සන්නාම යටතේ මෙන්ම සන්නාම රහිතවද ගජරාමෙට අලෙවි වන කුකුළු මස් හා මංශ කොටස්වල අදාළ ප්‍රමිතිය තිබේදැයි සොයා වැටලීම් කරන බවක් නම් දකින්නට නැත. මෙම තත්ත්වය අනුව කුකුළු මස් මිලට ගැනීමේදී එහි පීකුදු කොටස බැහැර කිරීම ඔබේ පවු‍ලේ සෞඛ්‍ය කෙරෙහි හිතකර ලෙස බලපානා බව කිව හැක. ඊට අමතරව වෙළෙඳ‍පොළෙන් කුකුළු පීකුදු (Chiken Liver) පමණක් මිලට ගැනීමෙන් වැළකීමද ඉතා වැදගත්ය. කෙසේ වෙතත් පීකුදුවල ඇති ඉහළ ‍ප්‍රෝටීන ප්‍රමාණය නිසාම, කුඩා දරුවන්, ගැබිනි හා කිරිදෙන මව්වරුන්, රෝගීන් වැනි සෑම කෙනකුටම ලබාදීමට අප උනන්දු වන්නෙමු. එබැවින් මින් ඉදිරියට ඔවුන්ගේ ජීවිත පිළිබඳ වඩාත් සිතාමතා කටයුතු කිරීමට ඔබට සිදුවනු ඇත.
බැර ලෝහ ශරීර ගත වීම ඉතා භයානක රෝග රැසකට හේතු වෙයි. ශරීරයේ ඉන්ද්‍රියන් තුළ බැර ලෝහ තැන්පත්වීම පිළිකා සහ වකුගඩු ආසාදනය සඳහා ප්‍රධාන හේතුවක් වෙයි. ඊට අමතරව අස්ථි පද්ධතිය, අක්මාව හා ස්නායු පද්ධතිය බරපතළ ලෙස රෝගී කරවීමට බැර ලෝහවලට හැකි බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරුව ඇත.
එබැවින් කුකුළු පාලනයේදී භාවිත කරනා ආහාරවල ප්‍රමිතිය ගැන වඩාත් හොඳින් සොයා බැලීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුය. ඊට අමතරව කුකුළු ගොවිපළවල ප්‍රමිතිය, කුකුළන්ට ලබාදෙන ජලය වැනි කරුණු පිළිබඳවද වඩාත් සැලකිලිමත් වීම අනිවාර්ය වෙයි. නොඑසේනම් මස්වලින් මරණීය රෝගවලට ලක්වීමට අපට අනිවාර්යයෙන්ම සිදුවන්නේය.
 අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු