කුඩු ලොක්කන් එල්ලුම් ගහට / වාර්තාව ලැබුණු සැණින් ජනපතිගෙන් අත්සන්

බරපතල මට්ටමේ මත්කුඩු ජාවාරම්කරුවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මරණ දඩුවම ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ වන විට මරණ දඬුවම නියමව සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන් අතරින් තවදුරටත් මත්කුඩු ජාවාරමේ නිරත පුද්ගලයින්ට මෙසේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව අනාවරණ කළේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුව අමතමින්.

ඊයේ (10දා) පැවැති කැබිනට් හමුවේදී මරණ දඬුවම නියම වී බන්ධනාගාර තුළ සිටින වරදකරුවන්ට තවදුරටත් එම ජාවාරම සිදුකරන්නේ නම් ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටින සුසේයි නැමැත්තා මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගියදා සමත්වීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදී රුපියල් බිලියන 1.2කට අධික වටිනාකමින්ක යුත් හෙරොයින් කිලෝ 103ක් අත්අඩංගුවට ගැනීමට ගැණුනා.
මෙය පළමු අධියර ලෙස ක්‍රියාත්මක කරන අතර අනෙක් අපරාධ සදහා මරණ දඩුවම සක්‍රීය කිරීම ඉදිරියේදී කැබිනට් මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිතයි.

ඒ අනුව මත්කුඩු ජාවාරමේ නිරතව මරණ දඩුවම නියමවී තවදුරටත් එම ජාවාරම මෙහෙයවන්නන්ගේ ලයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කිරීමට නියමිතයි.
අනතුරුව එම පුද්ගලයින් මරණ දඩුවමට යටත් කිරීමේ අවසරය සදහා අධිකරණ තීන්දුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇති.
ඒ සදහා අත්සන් තැබීමට ජනාධිපතිවරයා සූදානමින් පසුවන බවයි රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ.

මේ අතර මත්කුඩු ජාවාරම මැඩීමේ මෙහෙයුම සදහා හමුදාව යෙදවීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් හමුදාවට අතිරේක බලයක්ද ලබාදීමට නියමිතයි.