කුමන්ත්‍රණ පරදා සමගිය රකිමු / නියෝජ්‍ය ඇමති ජේ සී ඉල්ලයි

30 වසරක යුද්ධයකින් පීඩා විද අත්දැකීම් ලබා සිටින රටක් ලෙස සියලු ජාතීන් අතර සමගිය ආරක්ෂා කර ගනිමින් තටයුතු කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කය තුල හටගත් ගැටලුකාරී තත්ත්වය රටක් ලෙස කණගාටුවිය යුතු තත්ත්වයක් බවයි.
අතීතයේ සිට සාමයෙන් මෙරට තුල දිවි ගෙවූ සිංහල දෙමල මුස්ලිම් කිතුණු ජන කොටස් අතර වෛරය වපුරා වාසි අත් කර ගැනීමට ඇතැම් පුද්ගලයින් හා සංවිදාන කටයුතු කරන බවටයි නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පල කළේ.

එවන් අවාසනාවන්ත සිදුවීම් හරහා රට ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්වන අතර යළිත් ලෝකයේ තර්ජනයන්ට ලක්වූ රටක් බවට මෙරට පත් කිරීම එම සංවිදානාත්මක වෑයම්වල අරමුණ බවට ජේ සී අලවතුවල මහතා චෝදනා එල්ල කළා.
ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුල මේ මාසයේදී ශ්‍රී ලංකාව පිළිබද අවධානය යොමුවන තත්ත්වයක් තුලයි මෙම අවාසනාවන්ත සිදුවීම නිර්මානය කර ඇත්තේ.
එමගින් යළිත් රටට බලපෑම් ඇති කරවා ආර්ථිකය බිදදමා බලය ලබාගැනීමේ වෑයම් ක්‍රියාත්මක වුවද ජනතාව බුද්ධිමත්ව ඒ වෙනුවෙන් පියවර ගත යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා සදහන් කරන්නේ.