කොණ්ඩ කපන්න ලංකාවට ආ චීන්නු දෙන්නා ලග කෝටි 96 ක්


පසුගියදා චීන්නු දෙන්නෙක් ගැන හරි අපූරු පුවතක් වාර්තා වූයේ කෝටි 96 කට ආසන්න මුදලක් ලංකාවේ බැංකු ගිණුමක තැන්පත් කර ඇතැයි පවසමින්ය. මේ චීන්නු දෙන්නාගේ බැංකු පොතේ වටිනාකම රුපියල් කෝටි 96 කි.

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙම චීන ජාතික පුද්ගලයන් දෙදෙනා ලංකාව තුළ රැඳී සිට මෙලෙස විශාල මුදලක් උපයාගත් ආකාරය පිළිබඳව හරි හැටි හැඳින්වීමක් හෝ සිදු කරන්නට ඔවුන්ට නොහැකි වීම එක්තරා ආකාරයට පුදුමයකි. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සූ සියැන් සන්ග්ය. අනික් පුද්ගලයා බින් ලියුය. මොවුන් ලංකාවට එන්නට වීසා පත් ලබාගෙන ඇත්තේ භාෂා පරිවර්තකයන් ලෙස පෙනී සිටිමින්ය. එපමණක් නොවේ මොවුන් දෙදෙනා සංචාරක නියෝජිත ආයතනයක සේවය කරන සේවකයන් ලෙස ලිපි ලේඛන ඉදිරිපත් කරමින් හරි අපූරු රගපෑමක නිරත වීද ඇත.

කෙසේ වෙතත් මේ චීන ජාතිකයන් දෙපළටම නීතියෙන් කිසිදු ගැලවීමක් නම් අපේක්‍ෂා කරන්නට නොහැකිය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන සිල්වා මහතා කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතාට පසුගිය 16 වැනිදා දැනුම් දී ඇත.

china1මෙලෙස මම පුද්ගලයන් දෙදෙනාට අධි චෝදනා එල්ලවී ඇත්තේ බලපත‍්‍ර නොමැතිව මැණික් ව්‍යාපාරයේ යෙදීම සම්බන්ධවය. එලෙස බලපත‍්‍ර නොමැතිව මැණික් ව්‍යාපාරයේ යෙදීම අධිචෝදනා ගොනු කිරීමට තරම් බරපතළ වරදකි. ඉකුත් 16 වැනිදා අධිකරණය හමුවේ මේ පිළිබඳව වඩාත් පැහැදිලිව රජය පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා පැවසුවේය. මෙම චීන ජාතිකයන් දෙදෙනාම එදින අධිකරණය හමුවේ පෙනීසිට ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා මෙරට රැඳී සිටිමින් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ආකාරයට ලංකාවේම බැංකු ගිණුමක මෙලෙස රුපියල් කෝටි 96 කට ආසන්න මුදලක් තැන්පත් කිරීම මූල්‍ය විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීමකි. සැබැවින්ම එලෙස විශාල මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි නම් ව්‍යංගාර්ථයෙන් ඒ කියවෙන්නේ ඒවා කළු සල්ලිම බවය.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත. ඒ අනුව පොලිස් පරීක්‍ෂක ධම්මික විජේසිංහ මහතා ඉකුත් 16 වැනිදා මේ සම්බන්ධව වැඩිදුර බී වාර්තාවක් සමගින් අධිකරණයේ පෙනී සිට ඇත. එම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ ලබන 27 වැනිදා තෙක් කල් තැබීමට නියෝග කර ඇත.

මෙම චීන ජාතිකයන් දෙදෙනාට ආගමන විගමන පනතේ නීතී උල්ලංඝනය කරමින් ලංකාව තුළ රැඳී සිටින බවටද චෝදනා තුනක් ගොනු වී ඇත. රුපියල් ලක්‍ෂ 06 ක දඩයක් මේ සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට නියම කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක ඉකුත් වසරේ ජුනි 18 නියම කර ඇත. මොවුන් දෙදෙනා එම වරද පිළිගත් නිසා එක් චෝදනාවක් සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කළ අධිකරණය වසර තුනක ලිහිල් සිර දඬුවමක් වසර පහකට අත්හිටුවමින් නියෝගයක් මෙවර ලබා දී ඇත.

සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 09 ත් 12 ත් අතර කාලයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මෙම පුද්ගලයන් දෙදෙනාටම පෙනී සිටින ලෙසට එදින (16දා) අධිකරණය නියෝගයක් ලබාදී ඇත. ආගමන විගමන පනත ප‍්‍රකාරව මෙම සැකකරුවන්ට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ චෝදනා ගොනු කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව එම මහෙස්ත‍්‍රාත්වරයා අදාළ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණය හමුවේ එලෙස කැඳවා ඇත. මෙම මූල්‍ය ගනුදෙනු සිද්ධියට අදාළ චීන ජාතිකයන් දෙදෙනාගේ බැංකු ගිණුම කොළඹ මහාධිකරණය මගින් අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම චීන ජාතිකයන් දෙදෙනා ලංකාවට පැමිණ ඇත්තේ 2017 වර්ෂයේ මාර්තු මාසයේදීය. මෙරටට පැමිණ වසරකට වඩා වැඩි කාලයකින් කෝටි 96 ක් උපයාගන්නට තරම් මොවුන් දෙදෙනා සිදු කළ රැකියාව කුමක්දැයි සැබවින්ම ප‍්‍රශ්නාර්ථයකි.

මෙම පරීක්‍ෂණය ඉකුත් ජනවාරි මසදී තම කොට්ඨාසය විසින් ආරම්භ කළ බවත් ඊට පසු මෙම සැකකරුවන් විසින් 2018.03. 29 වැනිදා මෙරට තුළ ‘‘ලක්සෝර් ජේම්ස් පුද්ගලික සමාගම (Luxul Gems pvt.Ltd) නමින් සමාගමක් ලියාපදිංචි කර ඇත.

මෙම සමාගමේ අධ්‍යක්‍ෂිකාවක් ලෙස මේ වන විටත් අත්අඩංගුවට පත්ව ඇති මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ මෙරටින් පිටව ගොස් ඇති සූ බින්ගුනෑන්ග් නමැත්තා ද ඇතුළත්ය. මෙම තැනැත්තා සිය රැකියාව වශයෙන් ගුවන් ගමන් බලපත‍්‍රයේ වීසා ලබාගැනීමට සඳහන් කර ඇත්තේ ‘‘කරණවෑමි’’ ලෙසින් බව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය වාර්තාවේ සඳහන් කර ඇති පරිදි මෙම චීන ජාතිකයන් දෙදෙනා විසින් තවත් චීන ජාතික අට දෙනකුගේ ගුවන් බලපත‍්‍ර ළග තබාගෙන සිට ඇත. එයින් චීන ජාතිකයන් හය දෙනකු මේ වන විට මෙරට තුළම සිටිනු ඇත. ඒ අතර සිටින තවත් දෙදෙනෙක් තවමත් මෙරටට පැමිණ නැති බව මෙම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම චීන ජාතිකයන් දෙදෙනා මැඩගස්කර් රාජ්‍යයේ සිට මෙරටට මැණික් ගෙන්වා මෙරට ඔපගන්වා විකුණන බවට පැවසුවත් ඒ සම්බන්ධයෙන් ලිඛිත ලේඛන ඇතුළත් තොරතුරු සම්පූර්ණයෙන් ඉදිරිපත් කර නොමැති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා තාවකාලිකව මෙරට පදිංචි වී සිටින නිවස සෝදිසි කිරීමේදී ඔවුන් ළග තිබූ රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මොවුන් දෙදෙනා සංචාරක නියෝජිත ආයතනයක සේවය කරන බව පැවසුවත් එම සංචාරක නියෝජිත ආයතනය පවසා ඇත්තේ එවැනි පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව කිසිදිනක අසා හෝ නොමැති බවය.

කෝටි 96 ක් හරි අපූරුවට උපයාගත් ඒ චීන්නු දෙන්නා ලංකාවේ ඉඳගෙනම ලංකාවේ මිනිස්සුන්ට වඩා සුපිරි සුඛෝපභෝගී ජීවිත ගෙවූහ. තව තව නානාප‍්‍රකාර ගිවිසුම් ගැහුවා නම් අද අපට ඉන්නට රටක් නැත. මේ අහස යට අපිට ඉන්නට ඇත්තේ මේ භූමි භාගයේම පමණි.

අශිකා ජයවීර – Divaina


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.