කෝටි 400 ක් සමග රටින් පැන්න ලේකම් අල්ලන්න වරෙන්තු

ගිං නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනා එල්ලවී සිටින වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ ඩබ්ලිව් අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම මුදලින් සියයට 5ක් සැකකරු විසින් අවභාවිතා කර ඇති බවයි මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු දැන කරුණු ඉදිරිපත්ව ඇත්තේ.
සැකකරු ගේ බැංකු ගිණුම් තුනක් පරීක්ෂා කිරීම සඳහා ද අවසරයක් ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර ඒ සඳහා ද මහේස්ත‍්‍රාත්වරිය අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කළා.
වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යාංශය සිදුකිරීමට නියමිතව තිබූ ගිං නිල්වලා යෝජනා ක‍්‍රමය සඳහා සී ඒ එම් සී ඉන්ජිනියරින් සමාගමේ සභාපතිවරයා වූ ලියේ යැං මහතා සමඟ සැකකරු ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර එම යෝජනා ක‍්‍රමයට වැය වන මුදලින් සියයට පහක මුදලක් වූ රුපියල් මිලියන 4012ක මුදලක් අවභාවිත කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
ඔහු මේ වන විට මෙරටින් පලා ගොස් නවසීලන්තයේ වාසය කරන බවයි අනාවරණවී ඇත්තේ.