ගිං තොට සාමකාමීයි / ඇමති සාගලගෙන් ප්‍රකාශයක්

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
මෙය ජාතිවාදී ගැටුමක් බවට පත්කර ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.
දේශපාලන කල්ලි හා කණ්ඩායම්වල ඇතැම් පිරිස් ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට හා පුවත් හුවමාරු කරමින් සිටින බවත් ඒ පිළිබද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළා.

“ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබෙනවා. සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන්නා.

ඊයේ රාත්‍රියේ ම අවට සියලුම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවුවා.

ඒ වගේම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළා. ඒ වගේම මම කියන්න කැමතියි මේ සිද්ධිය මහා ජාතිවාදී ගැටුමක් බවට පත් කරගන්නට ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම් අසාර්ථක උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියලා.

.ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලන්න කැමතියි මේ අන්තවාදී දේශපාලන කල්ලි කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා.

ඒ වගේම තමයි ඒ දේශපාලන කල්ලි කණ්ඩායම්වල උදවිය මේවන විට ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් ඉන්නවා.

මම ඔවුන්ට දැනුම් දෙනවා මේ කටයුතු වහාම නවත්වන්න කියලා. ඒ වගේම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරවන ආකාරයේ ප්‍රචාර කවර හෝ ආකාරයකින් සිදුකරන සියලුම දෙනාට තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කරනවා කියන දේ මම ඔවුන්ට දැනුම් දෙනවා.

මේ වෙලාවේ අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වන්නේ හානි අවම වන අයුරින්. මේ සිද්ධියෙන් පටු දේශපාලන වාසි ගන්න හිතාගෙන අසත්‍ය ප්‍රචාර ගෙනියන්න එපා කියන දේ මම නැවත නැවතත් කියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *