ගෝඨාභයගේ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණය ඉවත දමයි

ඩී. ඒ රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.
සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.
මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු  විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ව්‍යවස්ථාදායකය විසින් මෙම විශේෂ මහාධිකරණය  ස්ථාපිත කර තිබෙන්නේ බරපතළ ආර්ථික සහ මූල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරීමට බැවින් මෙම නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව අවධාරණය කළා.
තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි.