ගෝඨාභයට එරෙහි නඩුවක් දිනපතා විභාගයට

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව දෙසැම්බර් මස 4 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එම අධිවෝදනාවලට අදාළ ලේඛන විත්තිපාර්ශ්වයට භාර දි ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛනද ඉදිරියේදී ලබා දෙන බවයි නීතිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. ඒ අනුව එම ලේඛන විත්තිපාර්ශ්වයට ලැබී ඇද්ද යන්න සොයා බැලීමට නඩුව ලබන 19 වනදා කැදවීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර මෙහි විත්තිකරුවන් වනවා. ඇප මත සිටින මෙම සියලු විත්තිකරුවන් විශේෂ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා. මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කළ දෙවන නඩුව මෙයයි. පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීම, කුමන්ත්‍රණය හා ඊට අනුබල දීම ආදී චෝදනා හතක් යටතේ විත්තිකරුවන්ට අධි චෝදනා ගොනු කර තිබෙනවා. ඊට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කරනු ලැබ තිබෙනවා. මේ සදහා සාක්ෂිකරුවන් 80 දෙනෙකු නම් කර තිබෙනවා.