චීනය හම්බන්තොටට දෙවන වාරිකයත් දෙයි/ කෝටි 1459 ක්

හම්බන්තොට වරාය චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට අදාළ දෙවන වාරිකය වන ඩොලර් මිලියන 97.3 ක මුදලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිව තිබෙනවා.

මෙහි පලමු වාරිකය ලෙස හිමිවූ අමෙරිකානු ඩොලර් මිලියන 300 ආසන්න මුදල ශ්‍රී ලංකා විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පසුගිය වසරේ දෙසැම්බර් 9 වනදා සිදුවුණා. චීන සමූහ ආණ්ඩුවේ හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් (CMPH) සමාගමේ නියෝජියින් විසිනුයි මේ වන විට හම්බන්තොට වරායේ මෙහෙයුම් සිදුකරන්නේ.හම්බන්තොට වරාය වසර 99 බද්දට ගැනීමට අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මුළු මුදල ඩොලර් බිලියන 1.1 ක්.