Press "Enter" to skip to content

ජනපති දැන් මිත්‍රශීලීයි / රාජිත කියයි


වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිවයින පුවත්පත සමග සිදුකළ සංවාදයක් සම්පූර්ණයෙන්ම පහතින් පලවේ.

ප‍්‍රශ්නය – ඇමැතිතුමා, අපි මේ සාකච්ඡාව පවත්වන වෙලාවේ ඔබේ නිවසේ ගේට්ටුවෙන් ඇතුළට, කිරිපිටි සමාගම්වලින් කොයිතරම් පිරිසක් ඇවිල්ලා ඉන්නවාද…

පිළිතුර – මගේ ගෙදර ඇතුළට එහෙම අයව වැද්දගන්නේ නැති බවත්, එහෙම එක එක සමාගම්වල න්‍යාය පත‍්‍රවලට අපි වැඩ නොකරන බවත්, මේ අවුරුදු හතරේ අපි, ඔය සමාගම් එක්ක හැප්පුණු ආකාරය දන්න කවුරුත් දන්නවා.

ප‍්‍රශ්නය – විවිධ කණ්ඩායම් දැන් මේ කිරිපිටි සම්බන්ධව එක එක කතා කියනවා. කිරි පිටි සම්බන්ධයෙන් ඔබ දරන අදහස තාම වෙනස් වෙලා නැද්ද…?

පිළිතුරැ – කිසිම වෙනසක් වෙලා නැහැ. මම කථා කරන්නේ විද්‍යාත්මක දත්ත අනුවයි. මම දුම්කොළ සමාගමත් සමග ගැටුනෙත් විද්‍යාත්මකව මට ලැබුණු දත්ත අනුව. එහෙම නැතුව මට, දුම්කොළ සමාගමත් එක්ක තියෙන දේශපාලන ගැටුමක් නිසා නෙමෙයි. පැණි බීම පිළිබඳවත් එහෙම තමයි. ඒවා එක්කත් මම ගැටුනේ විද්‍යාත්මකව… ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු දත්ත අනුව. ඔය කිරිපිටි ගැන කථා කරන අය කිසිම බහුජාතික සමාගමක් එක්ක හැප්පිලා නැහැ. ඒ අය, මේ ගැන කථා කරන්නේ විද්‍යාත්මක කරුණු පැහැදිලි කර ගැනීමකින් නෙමෙයි. නැත්නම් කාගේ හරි වුවමනාවකට කරනවා වෙන්න ඇති… කිරිපිටි සමාගම් වලට එල්ල වූ චෝදනාව තමයි මේ කිරි පිටි වල ඌරු තෙල් හා එළවළු තෙල් තියෙනවා කියන එක. කිරිපිටි වල ඌරු තෙල් තියෙනවා කීවම, මුළු මුස්ලිම් ජනතාවම කිරිපිටි බොන එක නවතිනවා. එළවළු තෙල් දානවා කීවම, ඒත් මිනිස්සු බය වෙනවා. එතකොට මේ මිනිස්සුන්ට කිරි පිටි බොන්න වෙන්නේ නැහැ. වෙන විකල්පයකුත් නැහැ. දියර කිරි ලංකාවේ තියෙන්නේ 10% ක් පමණ. එතකොට ලංකාවේ ජනතාවගේ පෝෂණ මට්ටම පහළ යනවා. පසුව මන්දපෝෂණය ඇතිවෙනවා.

එළකිරි ලංකාවේ තියෙන්නේ 10%ක් විතරයි. දැන් එතකොට 90%කට අද බොන්න වෙලා තියෙන්නේ පිටි කිරි. දැන් ලංකාවේ ජනතාවට තියෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි ප්‍රෝටීන ඌනතාව. මේ කියන ප්‍රෝටීන් නැතුවම තමයි අපේ ජනතාව, අනෙකුත් රටවල ජනතාවට වඩා මිටි වෙලා තියෙන්නේ… පෝෂණය අතින් පහළ බැහැලා තියෙන්නේ. වෛද්‍ය සංගමයේ නායකයා කිරි වල හොඳ නරක බලන්නේ ප්‍රෝටීන් වලින් විතරයි. අවුරුදු 22 වන විට මිනිසෙකුගේ අස්ථි ශක්තිමත් වීමට අවශ්‍ය ප‍්‍රධාන දෙයක් තමයි කැල්සියම්. ලෝකයේ අනෙකුත් රටවල්වල මිනිසුන්ගේ ශරීරයන් හොඳින් වැඩිලා තියෙන්නේ,

ප‍්‍රශ්නය – ඔබ කිරි පිටි සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරය සඳහා විද්‍යාත්මක ඇගයීමක් ලබා ගැනීමේ පහසුකම් අපේ රටේ තියෙනවද…?

පිළිතුර – මම 2015 එනකොට ලංකාවේ ආහාර පිළිබඳව රසායනාගාරයක් තිබුණේ නැහැ. 2016 මම ජාත්‍යන්තර මට්ටමේ ආහාර රසායනාගාරයක් කළුතර ඉදිකරා. ඒ රසායනාගාරය තුළ පිටරට කරන ඕනම පරීක්ෂණයක් කරන්න පුළුවන්. අද අපිට ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක දත්ත තියෙනවා. මෙහෙම රසායනාගාරයක් දැකලා නැති බොහෝ දොස්තරලා අද ලංකාවේ ඉන්නවා. අපිට කලින් මේ දේවල්වල හොඳ නරක බලන්න ක‍්‍රමයක් තිබුණේ නැහැ. මමත් මේ වස විසෙන් තොර කියන ව්‍යාපාරයත් එක්ක හිටියා. ඒක නිසා තමයි අපි මිලියන සිය ගණනක් වියදම් කරලා, මේ රසායනාගාරය හැදුවේ. ඉතින් අපි මේ කිරිපිටි වලත් ගුණාත්මකභාවය මේ රසායනාගාරයෙන් බැලූව. ඒකේ තියෙන දත්තවලට අනුව මේ කිරිපිටිවල තියෙන මේදය හැරෙන්න වෙනත් කිසිදු මේදයක් මේ කිරිපිටිවල අඩංගු නැහැ. දැන් එතකොට මේ විද්‍යාත්මක දත්ත වලට එරෙහි වෙන්න මට පුළුවන්ද? මේ කිරිපිටි ගෙන්වන කොට ඒ රටවල්වල්වලිනුත් සහතිකයක් ලැබෙනවා. ස්විට්සර්ලන්ත ආණ්ඩුවෙන් කරපු සහතිකයක් තියෙනවා. මේ ස්විට්සර්ලන්තයේ කිරි රටවල් 133 කට අපනයනය කරනවා. මේ අය ජපානය, සිංගප්පූරුව වගේ විශාල රසායනාගාර තියෙන රටවල් වලට මේ කිරිපිටි යවනවා. මේ එක රටකවත් අර විදිහේ මේදය ඇති බවට සහතික කරලා නැහැ.

ප‍්‍රශ්නය – කිරිපිටිවල ෆාම් තෙල් අඩංගු බවට තවත් චෝදනාවක් තිබෙනවා…

පිළිතුර – ඔය මේ දේවල් ගැන විද්‍යාත්මකව දන්නේ නැති අයගේ කතානේ… එයා ඒ කථා කරන්නේ කිරිපිටි ෆෝමියුලා එකක් ගැන. ඒ කියන්නේ කිරිපිටි වට්ටෝරුවක් ගැන. ඒක සම්පූර්ණයෙන්ම විසිරණය කරලා වියළනය කරපු කිරිපිටි නෙවෙයි. මේ වගේ සමහර වට්ටෝරුවලදී, කිරි සඳහා විවිධ දේවල් එකතු කරනවා. මේ ෆෝමියුලා කිරිපිටි සහ අපි බොන කිරිපිටි අතර ලොකු වෙනසක් තියෙනවා. කිරිපිටිවලට එක් එක් පෝෂ්‍ය පදාර්ථ අඩංගු කරලා එක එක නම් වලින් වෙළෙඳ පොළට එක් කරනවා. අද මේ රටේ කිරිපිටි ගැන කරන සංවාදය විද්‍යාත්මක සංවාදයක් නෙමෙයි. ඒක දේශපාලනික සංවාදයක් කරගෙන තියනවා. දැන් වෛද්‍ය සංගමයේ නායකයා කියනවා, දරුවන්ට කිරි වීදුරැවක් නොදී, කැඳ වීදුරුවක් දෙන්න කියලා. එයා හිතන්නේ මේ කිරිපිටිවල ප්‍රෝටීන් විතරක් තියෙනවා කියලා. මෙහෙම වෛද්‍යවරුන් තමයි අද ලංකාවේ ඉන්නේ. දැන් මම අහනවා ඒ වෛද්‍යවරයාගේ දරුවට උදේට කිරිද දෙන්නේ කැඳද කියලා. තමන්ගේ දරුවන්ට හොඳට බටර් ගාලා, පාන් දීලා, දුප්පත් දරුවන්නට ”උඹලා කැඳ බීලා, කොස් ඇට කාපන්…” කියලා කියනවා. මේක තමයි වැඩවසම් චින්තනය… මේ අයම තමයි අද ජාතික ආර්ථිකයක් ගැන කථා කරන්නේ… රටක තිබිය යුත්තේ, මේ දේවල් පිළිබඳව විද්‍යාත්මක ඇගයීමක් මිස දේශපාලනික ඇගයීමක් නෙමෙයි. අද මේ රටේ දේශපේ‍්‍රමය කතා කරන්නේ, දේශපාලන න්‍යාය පත‍්‍රයක් උඩ. නියම දේශපේ‍්‍රමියා කියන්නේ අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය හා පෝෂණය පිළිබඳව හොයන කෙනාට…

ප‍්‍රශ්නය – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවා ව්‍යංගයෙන් කියලා තිබ්බේ, මේ අයවැය සම්මත කර ගන්න අමාරුයි, කියලා. කෙහොමහරි ඡන්ද 119 ක් අරගෙන එජාපය, ඒ වැඩෙත් අමාරුවෙන් ගොඩ දාගත්තා නේද…?

පිළිතුර – සමහරු බොහෝ වෙලාවට දේශපාලන ගමන දකින්නේ බොහොම අසීරු විදිහට. නමුත් මගේ මුළු දේශපාලන පදනම තියෙන්නේ සුබවාදීව. ඒ නිසා තමයි අද මම බොහෝ අමාරු තැන්වල ඉඳලා ඇවිත් මේ ජයග‍්‍රහණ ලබන්නේ. මම හැම වෙලාවෙම සිතුවේ මේ අයවැය දිනනවා කියලා. මම හීනෙන්වත් හිතුවේ නැහැ, අපි පරදී කියලා. මම තොණ්ඩමන් මහත්තයත් එක්ක කථා කළා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුනටත් කථා කළා, කථාකරලා කීවා, ”ඡන්දය දෙන්න එපා, ඡන්දය දීමෙන් වැළකී සිටින්න…” කියලා. ඒ අයගේ දේශපාලන අනාගතය ගැන මම කථා කළා. මම කීවා දෙකෙන් එකක් තෝර ගන්න කියලා. පොහොට්ටුව නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා. නමුත් අපි නොසිතූ විදිහට ජනාධිපතිතුමත් එකඟ වුණා මේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා නොදිය යුතුයි කියලා, අයවැය ඡන්ද 43 කින් අපි ජයග‍්‍රහණය කළා.

”අපි කොහොමහරි මේක පරද්දනවා කියලා” මහින්ද රාජපක්ෂ කීවා. කොහොම හරි මේ සැරේ මහ ඡන්දයටත් යනවා කියලා. දැන් ඒකත් පරාද වුණා. ජනවාරි 08 ත් පරාද වුණා. ඔක්තෝබර් 26 ත් පරාද වුණා.මාර්තු 12 ත් පරාද වුණා. අන්තිමට කියන්න තියෙන්නේ ඉස්සරහටත් පරාදයි කියලා තමයි.

ප‍්‍රශ්නය – ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය පරද්දනවා කියලා, අන්තිමට ඒකත් අයින් කරගන්න එජාපයට සිද්ධ වුණා නේද ?

පිළිතුර – ඇත්තටම අපිට පරද්දවන්න පුළුවන්කම තිබුණා. ජනාධිපතිවරයාව අපිව පරද්දන්න හදනවා නම්, අපි එතුමාව පැරැද්දිය යුතුයි. ඒක තමයි දේශපාලනය. පස්සේ ජනාධිපතිතුමා අපිත් එක්ක ඉතාමත් මිත‍්‍රශීලී තත්ත්වයකට ආවා. ගිය සතියේ කැබිනට් මණ්ඩලයට කිරිපිටි මිලසූත‍්‍රය ආවා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා කීව්වා ”මේ වෙලාවේ මේක ගේන්න එපා, ආණ්ඩුව අනවශ්‍ය අවලාදයකට ලක් වෙයි.” කියලා. අයවැය ලේඛනයේ නැති දේවල් ගැසට් පත‍්‍ර හරහා වැඩි කරනවා කියලා. අපි ඒක පිළිගත්තා.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ ඔබතුමන්ලා අර කලින් තිබුණු යහළුකම නැවතත් පටන්ගත්ත කියන එකද?

පිළිතුර – ඔව් නැතුව බැහැනේ. ඇත්තම කියනවා නම්, එතුමයි මමයි අඩි 6 ක වළක ඉඳලනේ, මේ ගොඩට ආවේ. ඉතින් දෙන්ම එකට ආවනම් දෙන්නම එකට ඉන්න ඕනනේ.

ප‍්‍රශ්නය – එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට කවුද දාන්න හිතාගෙන ඉන්නේ…

පිළිතුර – ඒක අපි සුදුසු අවස්ථාවේ දාන්න හිතාගෙන ඉන්නේ. අපි අපේ පක්ෂයෙන් පුළුල් පෙරමුණ හදලා ඉවරයි… අපි මැයි 01 දාට එම පුළුල් පෙරමුණේ ආරම්භක රැලිය පවත්වනවා. අපි යථාර්ථවාදීව බලනකොට ඉස්සලේලාම එන්නේ ජනාධිපතිවරණයක්. ඒ සඳහා අපි සූදානම්…

සාකච්ඡා කළේ – රුවන් ජයවර්ධන


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න