ජනවාරියේ ජනාධිපතිවරණයක් ගැන කතාබහක්

ලබන ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන නායකයන් අතර රහසිගත කතාබහක් ඇතිවී තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

කල්තබා ජනාධිපතිවරණයක් කැඳවීමෙන් රජය වඩාත් වාසිසහගත ප්‍රතිඵලයක් ලබාගත හැකි බවට දේශපාලන හා ජ්‍යොතිෂ අංශවලින් ලැබුණ උපදෙස් මත මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි මේ ගැන අදහස් දැක්වූ පක්ෂ නායකයෝ ගණනාවක්ම සඳහන් කළහ.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තිය හා ඊට අදාළ අනු වගන්ති මගින් ජනාධිපතිවරයකු සිය ධුරයට පත්ව වසර 4ක් ඉකුත්වීමෙන් පසු ඕනෑම මොහොතක නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට බලය පවරා ඇත. එසේ වසර 4ක් ඇවෑමෙන් ජනාධිපතිවරණය කැඳවිය හැක්කේ ධුරය දරන ජනාධිපතිවරයා නැවත වරක් එම තනතුර සඳහා තරග කරන්නේ නම් පමණි.

එම ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවත් ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇති බවත් එ.ජ.නි.ස. ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. මේ හැර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා.පයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි කියැවේ.

මේ හැර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි සෙසු අපේක්ෂකයන් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යන්නේ අමාත්‍යවරුන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න යන මහත්වරුය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප.යෙන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි පැවසේ.

සාකච්ඡාවකට එක්වූ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන්නැයි තමන්ට ආරාධනා කළහොත් තමන් එම අභියෝගය භාරගන්නට සූදානම් බවයි. කෙසේ වෙතත් මෙවර එ.ජා.ප.ය පොදු අපේක්ෂකයකුට සහය නොදෙන බව එහි ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම පැවසූහ.

මෙම අපේක්ෂකයන්ට අමතරව රොහාන් පල්ලෙවත්ත, මාලින්ද සෙනවිරත්න ආදී ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් ගැනද සඳහන් වෙයි – දේශය