ජන්දය දාන්න නිවාඩු නොදුන්නොත් දඩුවම්

Banner

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතනවලට නීතියෙන් දඬුවම් ලබාදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ නිසා පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

අදාළ සේවකයන් සේවය කරන ආයතනයේ සිට ඡන්දපොළ දක්වා ඇති දුර සැලකිල්ලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ප්‍රමාණවත් ආකාරයට නිවාඩු ලබාදිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සේවකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට හා ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත්, එහිදී මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසු වරදකරු වුවහොත් රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට, මාසයක් නොඉක්මවන සිර දඬුවමකට හෝ අදාළ දඬුවම් දෙකටම යටත් කළ හැකි බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මීට අමතරව සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියෙකුටම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එසේ ලබාදෙන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තිකයන් ද ඇතුළුව සියලුම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර එය සේවා නියුක්තිකයන්ගේ
සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

සේවා නියුක්තිකයෙකුටම මෙම කාර්යය සඳහා දෙනු ලබන නිවාඩු කාල සීමාව,එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත,සේවා යෝජකයා විසින් නිගමනය කළ යුතුය. නීතිය අනුව නිවාඩු ලබාගැනීම පිළිබඳව මෙයට පෙර පැවැති ඡන්ද විමසීම්වලදී සේවා නියුක්තිකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම ඡන්දය විමසීමේ දී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයන්ට,නීත්‍යාණුකූලව හිමිවන එම නිවාඩුව ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශ්වයේ සියලුම සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

Banner