ජන්ද කාර්යාල වල මහා පරිමාණ කටවුට් හෙටින් පසු තහනම්

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පවත්වාගෙන යන අවසර ලත් කාර්යාල ඉදිරිපිට සවිකර ඇති මහා පරිමාණයේ ඡායාරූප සහ කටවුට් හෙට (2දා) වන විට ගලවා ඉවත් කළ යුතු අතර එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එවැනි ඡායාරූප සහ කටවුට් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව, දේශපාලන පක්ෂ නායකයන් වෙත දන්වා ඇති බවයි කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතා සදහන් කළේ.

ඡායාරූප සහ කටවුට් ඉවත් නොකරන කාර්යාල වෙත තහනම් ලිපියක් භාරදී කාර්යාලය සඳහා ලබාදී ඇති අවසර පත්‍රය අවලංගු කරකිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග කඩකරමින් තවදුරටත් මහාපරිමාණයේ ඡායාරූප සහ කටවුට් ප්‍රදර්ශනය කරන කාර්යාල ඉදිරිපිට ඇති ඡායාරූප හා කටවුට් මෙම මස 5 හා 6 යන දිනයන්හි වීඩියෝ මඟින් රූගත කර නඩු පැවැරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා සදහන් කළා.
මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොසලකා හරිමින් විශාල ප්‍රමාණයේ ඡායාරූප හා කටවුට් ප්‍රදර්ශනය කෙරෙමින් පවතින කාර්යාලය ඉදිරිපිට ඇති ඡායාරූප හා කටවුට් 2දා වන විට ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාව පොලිසියටද දැනුම් දී තිඛෙනවා.