ජනාධිපති බැලුම උඩ යන්න ලෑස්තියි


බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවීමට නියමිත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙනුවෙන් නිර්මාණය කළ අපූරු ගුවන් බැලුමක් ඔහුගේ සංචාරය සිදුවන දිනයේදී ලන්ඩන් නගරයේ පියාසර කරවීමට සැලසුම් කර තිබෙනවා.
එය නම් කර ඇත්තේ ට්‍රම්ප් බේබි ලෙසයි.
මෙම බැලුමේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මුහුණ සහිත ළදරුවකුගේ පෙනුමක් දිස්වන අතර එයට ඩයපරයක්ද අන්දවා තිබෙනවා.
මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතව තිබුණද එය අත්හිටුවනු ලැබුවේ ඔහුට එරෙහිව ලන්ඩනයේ පැවැති විරෝධතා රැල්ල හේතුවෙන්.
කෙසේ වෙතත් ඔහු ලන්ඩනයට පැමිණෙන ජූලි 13 වනදාද එවන් විරෝධතා පැවැත්වෙනු ඇති බවට විශ්වාසයක් පවතිනවා.
මෙම ජනාධිපති බැලුමට ලන්ඩන් නගරයේ පැය 2ක කාලයක් පියාසර කිරීමට නගරාධීපතිවරයා අවසර දී ඇතත් පොලිසිය මෙතෙක් ඒ සදහා නිසි අවසරයක් ලබාදී නැහැ.
ඒ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව මුල් කරගෙනයි. කෙසේ වෙතත් බැලුමේ වැඩ මේ වන විට අවසන්ව ඇති අතර ඊට හිමිවන ආධාර මුදල්ද විශාල ලෙස වර්ධනයවී තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.