ජයසූරියට ICC යෙන් චෝදනා / උත්තර දෙන්න සති 2ක්

දූෂණ විරෝධී ආචාර ධර්මීය නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සදහා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට ඔක්තෝබර් 15 සිට දින 14 ක කාලයක් ලබාදෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය “දැන් නිකුත් වූ පුවතක්” මැයෙන් ට්විටර් පණිවිඩයක්ද නිකුත් කරමින් මීට අදාළ කරුණු පැහැදිලි කළා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරිය මහතාට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එල්ල කරන චෝදනා මෙසේයි.

  1. නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව – අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
  2. නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව – දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

මේ සඳහා පිළිතුරු ලබා දීමට සනත් ජයසූරියට 2018 ඔක්තෝබර් 15 දින සිට දින 14 ක කාල සීමාවක් ලබා දී ඇති බව පවසන ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය දැනට මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ නිකුත් නොකරන බව ද සඳහන් කර තිබෙනවා.

මෙම චෝදනා පිළිබද කරුණු පැහිදිලි කිරීම සදහා හෙට දිනයේදී සනත් ජයසූරිය මහතා විසින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *