ජවිපෙ අන්තර්ජාල නිදහස ඉල්ලයි

රට තුල අන්තර්ජාල නිදහසට බාධා නොකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කරනවා. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
163, කිරුලපන මාවත,
පොල්හේන්ගොඩ,
කොළඹ 05.

අමාත්‍යතුමනි,

සමාජ මාධ්‍ය ජාල තහනම පිළිබඳවයි
පසුගිය දිනවල මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර ගත කරගනිමින් ඇවිලී ගිය ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ආශ්‍රිත සිදුවීම් සමාජ ජාලයන් මගින් ව්‍යාප්ත වීමේ ඉඩ ඇති බව පවසමින් ආණ්ඩුව විසින් එම ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය වෙත තිබූ ප්‍රවේශය අවහිර කිරීමට පියවර ගන්නා ලදී.
එහෙත් එම නිශ්චිත මෙහොතේ ගන්නා ලද සමාජ ජාල තහනම පිළිබඳ තීරණය මේ දක්වා ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් පොදු සන්නිවේදන කටයුතුවල යෙදෙන සහ වෘත්තීමය කටයුතුවලදී භාවිත කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටිති. වඩා බරපතළ කරුණ වනුයේ, මෙම තහනම දිග්ගැස්සීම මගින් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්‍රකාශනයේ අයිතිය වැනි ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සීමා කිරීමට කූඨ ලෙස උත්සාහ දරමින් සිටින්නේද යන්නය.
සැබැවින්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාතිවාදය හා ආගම්වාදය වපුරන, වෛරී ප්‍රකාශනයකට ඉඩ නොතබන ලෙසට පූර්වයෙන් පියවර ගැනීමය; ඊට අදාළ නීතිය උපරිම ලෙස ක්‍රියාවේ යෙදවීමය. ක්‍රමයෙන් නිදැල්ලේ වැඩීමට ඉඩ හළ මෙම ප්‍රවණතාවයන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වෙද්දීද ආණ්ඩුව ඒ පිළිබඳව ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් එසේ වැඩුණු ජාතිවාදී ආගම්වාදී අදහස් මානව ක්‍රියාකාරිත්වයක් බවට පත්ව ලේ, ගිනිදළු ලෙසින් කඩාවැදිය හැකි බවත් එහි බරපතළකමත් ආණ්ඩුව දැන සිටිය යුතුව තිබිණි. තිස් වසකට වැඩි ජාතිවාදී යුදමය තත්වයකින් බැට කෑ සමාජ අත්දැකීමට පසුවත් මෙම අවදානම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත්ද යන්න අපි නොදනිමු.
එහෙත් සැබැවින්ම දැන් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ, පසුගිය දිනවල අවාසනාවන්ත ලෙස දිගහැරුණු මෙම සිදුවීම්වල පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම වැනි කටයුත්තකි. එවැනි තත්වයක් තුළ දැන් මෙම සමාජ මාධ්‍ය තහනම නඩත්තු කිරීම රටට ප්‍රදර්ශනය වනු ඇත්තේ, ‘ගෙදර ඇති මුව හමට තඩි බෑමකට’ වැඩි දෙයක් ලෙස නොවේ.
විදෙස් ගත විශාල ශ්‍රමික පිරිසක් අඩු වියදමින් තමන්ගේ නිවස සමග සන්නිවේදනය කරගන්නා මාර්ගය වන්නා වූද සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, දැන්වීම් හා පාරිභෝගික සේවා ආදී ආර්ථික කටයුතුවලට අත්‍යාවශ්‍ය වූද සමාජ ජාල අද වන විට පුළුල් ලෙස ජන ජීවිතය හා බැඳී තිබෙන්නකි. එය හුදු ජාතිවාදී හා ආගම්වාදී වෛරී ප්‍රකාශන සිදුකරන අතළොස්සක් දෙනාගේ ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ජනතාවගෙන් බැහැර කර තිබිය යුත්තක් නොවේ.
එබැවින් කඩිනමින් අදාළ පියවර ගෙන අන්තර්ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ ‘අත්අඩංගුවෙන්’ මුදා හැරීමට පියවර ගන්නා මෙන් දැඩිව ඉල්ලා සිටින අතර ජනතාවගේ පුළුල් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන මාධ්‍ය මර්දනයකට මෙමගින් උත්සාහ නොකරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

විජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී
2018.03.14


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.