You are here
Home > ගොසිප් > ජෝතිපාල සොයා මාළිගාවත්තට ගිය ගමන

ජෝතිපාල සොයා මාළිගාවත්තට ගිය ගමන

මීට තිස් එක් වසරකට පෙර මාලිගාවත්ත අද මෙන් ජනාකීර්ණ පෙදෙසක් නොවුණි. පාර දෙපසේ මෙන්ම මාලිගාවත්ත පුරාවට වැඩුණු මාර ගස් හෙවණින් ඒ පළාතම සිහිලැල්ව පැවැතිණි. කලාකරුවන්, මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදි වූ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයත් සමඟ මාලිගාවත්තේ අගය තවත් වැඩි වුණි. ගායන ලොවේ අමරණීය ගායකයා ලෙස අදටත් විරුදාවලි ලබන එච්. ආර්. ජෝතිපාල මෙම මහල් නිවාස සංකීර්ණයේ පළමුව නිවෙසක් හිමිව පදිංචි වූ ගායකයකු විය.

එතැන් සිට තවත් බොහෝ කලාකරුවන් ගායක – ගායිකාවන් රැසක් මෙහි පදිංචි විය. වසර ගණනක් පුරාවට ජෝතිපාලයන් මිය යනතෙක්ම ජීවත්ව සිටි මේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට පසුගිය දිනෙක සරසවියේ අපි ගොඩ වැදුණෙමු. ඒ අනිද්දාට (07 වැනිදාට) යෙදී තිබෙන ජෝතිපාලයන්ගේ තිස් එක් වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි. 1987. 07. 07 දින සිදු වූ ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසුව ඔහුට උපහාරයක් ලෙස ඔහු ජීවත් වූ නිවෙස ඉදිරිපසින් දිව යන මාවත එච්. ආර්. ජෝතිපාල මාවත ලෙස නම් කෙරුණි. ඊට යාබදව ඔහු අනුස්මරණය කරනු වස් ජෝතිපාල පිළිරුව ඉදිවිණි.

අදටත් ජෝතිපාල දිවි ගෙවූ නිවෙස නිරුපද්‍රිතව පවතින අයුරු ජෝතිපාල මාවතෙන් යන එන්නකුට දැක බලා ගත හැකිය. මේ සියල්ල සොයා යන අපට එච්. ආර්. ජෝතිපාලයන් සමඟ මහල් නිවාසයේ විසූ ඔහු සමඟ ඇසුරු කළ කිහිප දෙනෙකුම හමු විය. අදටත් ජෝතිපාලයන් වෙනුවෙන් ඔවුන්ගේ හදවතින් පිටවෙන සුසුම් මෙන්ම නෙතඟින් වැගිරෙන කඳුළු ද වා තලයට මුසුවේ. පොදු ජනතාවගේ හදවත් හි එතරම්ම ආදරයක්, ඉඩකඩක් ලබන්නට ජෝතිපාලයන් සැබෑවටම පින් කර තිබේ.

ජෝතිපාලයන් මිය ගොස් අවුරුදු තිස් එකක් ගත වූ තැන ඔහු පිළිබඳ තොරතුරු සොයා යන ගමනේ දී ජෝතිපාල ජීවත් වූ නිවෙසට ගොඩ වදින්නට අපි අමතක නොකළෙමු. මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පළමු මහළේ ‘ඕ-10’ දරන නිවෙස එදා ජෝතිපාල ජීවත් වු නිවෙස විය. අද ඒ නිවෙස කරා යන මාර්ගය ද අපිරිසුදුය. වසර ගණනකින් හරිහැටි නඩත්තු නොකළ සෙයක් දිස්වේ. කුණු, දූවිලි හා ගස්වල කොළ රොඩු වැටී මාර්ගය අපිරිසුදු වී ඇත.

ජෝතිපාලයන් දිවි ගෙවූ ඒ නිවහනේ අද වාසය කරන්නේ ඒ. සමරනායක මහතා ඇතුළු පවුලේ අයයි. ඔහු ව්‍යාපාරිකයෙකි. අප එහි යන විටත් ඔවුහු තම රාජකාරි කටයුතු වෙනුවෙන් කාර්යබහුලව සිටියෝය. ජෝතිපාල විසූ නිවෙසත්, බිත්ති, කාමර, දොර ජනෙල් කිසිවක්ම වෙනස් කර නොතිබුණත් ජෝතිපාලයන් පරිහරණය කළ කිසිදු බඩු බාහිරාදිය කිසිවක් එහි දක්නට නොමැත. කුඩා විසිත්ත කාමරයකිනුත් කුඩා කාමර දෙකකින් හා මුළුතැන් ගෙයකින් යුතු වූ ඒ නිවෙස විටින් විට පදිංචියට පැමිණෙන්නන්ට සෙවණ සදයි. මේ වන විට ජෝතිපාලයන්ගේ නිවෙසේ හිමිකරු වන ව්‍යාපාරික සමරනායක අප සමඟ කතාබහට එක් විය. ‘මම මේ නිවෙසේ පදිංචියට ආවේ දැනට වසර හතරකට පමණ පෙරාතුවයි. මට පෙර පවුල් කිහිපයක්ම මෙහි පදිංචිව සිට තිබෙනවා. ජෝතිපාල මහත්මයා කියන්නේ මිය ගියත් ලංකාවම අදටත් වසඟයට ගන්න ගායකයෙක්.

ඔහුව සැබැහින් අපි දැකලා, ආශ්‍රය කරලා නැතත් අපේ හිතෙත් ඔහු කෙරෙහි ලොකු ආදරයක්, ගෞරවයක් තිබෙනවා. මොකද මුළු මාලිගාවත්තම වගේම මුළු රටම ඔහුට, ඔහුගේ හඬට පුදුම විදිහට ආදරය කරන නිසා මේ නිවෙසේ කිසිම දෙයක් අපි වෙනස් කළේ නැහැ. එදා ජෝතිපාල ජීවත් වූ නිවෙසම තමයි මේ. මේ හැම කාමරයකටම දොරක් තිබී තියෙනවා. නමුත් අපි ගන්න කොට කවුරුන් හෝ එයින් එක් දොරක් ගලවා ගෙන ගොස් තිබෙනවා. මම මේ නිවෙසේ ඉන්නේ මගේ ව්‍යාපාරික කටයුතු පහසුවටයි. වැඩි කාලයක් මෙහි රැඳෙන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මං දකින විදිහට ජෝතිපාලයන් වෙනුවෙන් මීට වඩා දෙයක් රජයට සමාජයට කරන්න තිබුණා. අඩුම වශයෙන් ඔහු වෙනුවෙන් අනුස්මරණ කෞතුකාගාරයක් සකස් කරන්න තිබුණා. ඔහු ගීත දෙදහසකට වැඩි ප්‍රමාණයක් ගැයු ගායකයෙක්. මේ වගේ තැනක නෙමෙයි රජ මැදුරක ජීවත් වෙන්න තිබුණු ගායකයෙක්. මේ දේවල් හැම දෙනාම කියනවා. ඒත් ක්‍රිියාත්මක වෙන්නේ නැහැ. සරසවියෙන් අදත් මේ වගේ අසහාය ගායකයන් ගැන මේ විදිහට සොයා බලන එකත් ලොකු සතුටක් සමරනායක මහතා පවසයි.

ජෝතිපාලයන්ගේ නිවෙසට පිවිසෙන මඟ ඇත්තේ විශාල මාර ගසකි. ජෝති මේ නිවෙසේ ජීවත්වන අවධියේදිත් මේ මාර ගස මෙතැන තිබෙන්නට ඇත. ජෝතිගේ කතාබස්, ආගිය ගමන්, ගීත ගායනා මේ ගසට හොඳින් ඇසෙන්නට ඇත. දැනෙන්නට ඇත. ඒ මීට තිස් එක් වසරකට එපිටදීය. ඔහු විසූ මහල් නිවාස සංකීර්ණයේ බොහෝ නිවෙස් අද නවීකරණය වී ඇත. එහෙත් ජෝතිගේ නිවෙස එලෙසින්ම පවතියි. එදා ජෝතිපාලයන් ළඟින්ම ඇසුරු කළ අසල්වාසීන් කිහිප දෙනෙකුම මේ ගමනේදී අපට හමු විය. ජෝති ජීවත් වූ නිවෙස ඉදිරිපිටම ඇති යාබද නිවසේ අද ජීවත් වන්නේ ඩැෆ්නි ඩෙකර්ය. ඇගේ මව වූ කේ. කේ. දයාවතී මහත්මිය ජෝතිපාලයන්ගේ ළඟම අසල්වැසියා විය. දයාවතී මහත්මිය ජීවතුන් අතර නැති වුවත් ඇගේ දියණිය ජෝතිපාලයන් පිළිබඳ අතීත මතක අප සමඟ මෙලෙස පැවැසුවාය.

‘ජෝතිපාල අයියා මේ මහල් නිවාස සංකීර්ණයට පදිංචියට ආවේ 1978 දී විතර. ඒ වෙනකොට මේවා හදාගෙන යන නිවාස. ජෝති අයියා පදිංචියට එන අවධියේම මට රැකියාවක් ලැබිලා මම විදෙස් ගත වුණා. ඒත් මාස කිහිපයකට වතාවක් මම ලංකාවට ආවා. අපේ අම්මා එක්ක තමයි ජෝති අයියා ගොඩක් එකතු. අපේ ගෙදර දොරත් ජෝති අයියගේ ගෙදර දොරත් හරි කෙළින් මුහුණට මුහුණලායි තියෙන්නේ. අපේ අම්මා සාලෙන් පුටුව තියා ගන්නවා.

ජෝති අයියා එයාගේ සාලෙන් පුටුව තියා ගන්නවා. දෙන්නා ඉතින් ආගිය දේවල් හුඟක් වෙලා කතාබහ කරනවා. ජෝති අයියා හරිම හොඳ කෙනෙක්. ජෝති අයියට දුවලම හතර දෙනෙක්. ඒත් ඒ අය මාලිගාවත්තේ මේ ගෙදර හිටියේ නැහැ. ආවා ගියා විතරයි. මට මතකයි ජෝති අයියා සංගීත සංදර්ශනයකට ගියාම දුවලා මේ ගෙදරට එනවා. ඒ අය ජෝති අයියාට කිව්වේ ‘ඩැඩා’ කියලා. ජෝති අයියා ගෙදර හිටියේ නැත්නම් අපේ ගෙදරට වෙලා එයාලගේ ‘ඩැඩා’ එනකන් ඉන්නවා. ජෝතිගේ අම්මා, ජෝති භාර්යාව බ්ලොසම් එහෙම අපේ ගෙදරට වෙලා ඉන්නවා ජෝති එනකම්. දුවලා නම් සෙල්ලම් කර කර ඉන්නවා. ජෝති අයියා හැමෝම එක්ක හරිම එකමුතුයි. හිඟන්නෙක් ආවත් සලකලා තමයි අරින්නේ. ජෝති අයියා ප්‍රසංගවලට ගිහින් කාත් එක්ක හරි හිතවත් වුණොත් එයාව මේ ගෙදරට තනි නොතනියට එක්කගෙන එනවා.

ජෝති අයියා නිතරම හරිම නීට් එකට ඇන්දා. ගෙයින් පිටව යන කොට සෙන්ට් සුවඳයි පළාතම. හොඳ මහත්තමා ගති ඔහු තුළ තිබුණා. ජෝතිගේ අම්මා නිතරම මේ ගෙදරට එනවා. ඔවුන් දෙදෙනා අතර ඇතිවෙන සංවාදත් අපිට ඇහෙනවා. ජෝති අයියා විමෝදෙට බරයි. එයගේ යාළුවො ආවහම ඩ්‍රින්ක් එකක් දාලා ඩෝල ගහ ගහ මහ රෑ වෙනකම්ම ගීත ගයනවා.’ ඩැෆ්නි පවසන්නේ ජෝතිගේ අසල්වැසියා ලෙස ජෝතිපාලයන් පිළිබඳ ඇයට තම මව පවසා ඇති දේ සහ ඇයට අහන්නට දකින්නට ලැබුණු දේය.

ජෝතිපාලයන් ළඟින්ම ඇසුරු කළ අසල්වැසියෙකි අද අසූ හතර හැවිරිදි වියේ පසුවන රත්නායක මහතා. ඔහුට ජෝතිපාල පිළිබඳ හොඳ මතකයක් පැවතුණ ද කතා කිරීමට තරමක් අපහසුය. වචන අපැහැදිලිය. ‘මම ජෝතිපාලව හඳුනන්නේ ඔහු පාසල් යන කාලයේ සිටමයි. අපි දෙන්නම ගියේ එකම පාසලට. පාසල් මිතුරන් කිව්වොත් හරි. අපිට මේ නිවාස සංකීර්ණයේ ගෙවල් ලැබුණෙත් එකටම වගේ. පාසල් කාලයේත් ජෝතිගේ ජීවිතය වුණේ මියුසික් තමයි.

පාසලේදී වුණත් අපි ජෝතිව දැක්කේ සංගීතයට ලොල් චරිතයක් විදිහට. කොයි වෙලේත් ටින් බෙලෙක්කයක් හරි අරගෙන තට්ටු දමමින් ගීත ගැයුවා. ජෝති කියන්නේ ජීවතේ විඳවපු කෙනෙක් නෙමෙයි. ඔහු ජීවිතය හොඳට වින්ඳා. විනෝද වුණා’ ඔහු පවසන්නේ වචන එක දෙක අපහසුවෙන් මුමුණමිනි. අද මේ පැත්තේ ජෝතිපාල මහත්තයා එක්ක ඇසුරු කළ අය හුඟක් අඩුයි. මොකද හුඟ දෙනෙක් ගෙවල් විකුණලා ගිහින්. තවත් අය මිය ගිහින්. රත්නායක මහතාගේ දියණිය පවසයි. ජෝතිපාලයන් පිළිබඳ සොයා යන ගමනේදී ජෝතිපාල ගායකයා ගැන වඩාත් මතකයක් ඇති ලියනගේ මියුරියල් පෙරේරා මාතාව අපට හමු විය. ඇය අදටත් ජෝතිපාලයන්ගේ අසල්වැසියෙකි. ප්‍රිය රසිකාවියකි. ජෝතිපාල පදනමේ පැරණි සාමාජිකාවක ද වන්නීය.

මගේ ගම පංචිකාවත්ත. ඒ කාලේ ජෝති අයියා මගේ අයියලා එක්ක හරිම එකතුයි. මගේ අයියා ‘සංදේශ්ය’ චිත්‍රපටයට දායක වුණා. ඔහු තමයි ලියනගේ ලයනල් පෙරේරා. අයියා ඉන්නේ එහා ෆ්ලැට් එකේ. ජෝති අයියව මම පුංචි කාලේ ඉඳලම හොඳට දන්නවා. ඔහු දෙමටගොඩ පුංචි ගෙදරක තමයි කුඩා කාලයේ ජීවත් වුණේ අම්මයි අක්කලයි එක්ක. ඒ ඇඳුණුම්කම් අදටත් තිබෙනවා. 1978 දී පමණ ආර්. ප්‍රේමදාස මහත්තයා මෙතැන ගෙවල් හැදුවා.

 ජෝති අයියට ඕ 10 ගෙදර ඉස්සරෝම ලබා දුන්නා. ඉන් පසුව තමයි අපිට මේ ගෙවල් ලැබුණේ. ජෝති අයියා රට වටේ මොන ප්‍රසංගයකට ගිහින් ආවත් ඕනෑම වෙලාවක මහ රෑ, දවල් වුණත් ඩෝලයක් ගහ ගහ සිංදු කියනවා. අවට වටේ පිටේ සෙනඟ එතැනට රොක් වෙලා බලාන ඉන්නවා. කවදාවත් කවුරුත් ඔහුගේ ගීත ගායනයට විරුද්ධ වුණේ නැහැ. හැමෝම ඔහු එන්නේ කොයි වෙලාවෙද කියලයි බලාන ඉන්නේ. අපි හැමෝම හරි ආසයි ඔහුගේ ගීත අහන්න.

ඒ වෙනකොට මට දරුවෝ තුන් දෙනෙක්. ඒ අය පොඩියි. ඒත් ජෝති අයියා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ගීත ගයන්න පටන් ගන්න කොට මමත් එතැනට බලා ඉන්න දුවනවා. නළු නිළියො, ගායක ගායිකාවෝ මේ හැම දෙනාම වගේ එතැනට එනවා. හරිම සුන්දර කාලයක්. ඒ වගේම තමයි පුතා ජෝති අයියගේ ගතිගුණ. කියලා වැඩක් නෑ. ඇගේ දෙනෙත් කඳුළින් පිරී යයි. ඇය සුසුමක් වා තලයට හෙමින් මුසු කරයි. මේ මාලිගාවත්තටම ජෝති අයියා ආඩම්බරයක්. ජෝති අයියා හරිම නිහතමානියි. වැඩිපුරම ගෙදරට අඳින්නේ සරම, බතික් ෂර්ට් තිබුණා. මේ ෆ්ලැට්වල ගෙවල් කුලිය පවා ප්‍රේමදාස මහත්තයට කියලා නියම කළේ ජෝති අයියා. රුපියල් 140 කට වැඩිය කුලිය ගන්න එපා කියලා ඔහු කියලා තිබුණා. මොකද දුප්පත් සාමාන්‍ය මිනිසුන්ට දුන්නු නිසා ඊට වැඩි කුලියක් ගන්නවට ඔහු අකමැති වුණා. හැම වෙලේම ජනතාවත් එක්ක තමයි ඔහු හිටියේ. පස්සේ කාලෙක අපිට මේ ගෙවල්වල ඔප්පු ගන්න කොට රජයට මුදලක් ගෙවන්න වුණා. ජෝති අයියා හිටියා නම් ඒ මුදල අපිට ගෙවන්න වෙන එකක් නැහැ.

ජෝති අයියා හුඟක් වෙලාවට කෑවෙ බිව්වේ කඩෙන්. ඔහුගේ මිතුරු මිතුරියන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කැසට් පට නිෂ්පාදකවරු නිතර මේ ගෙදරට ආවා ගියා.

ජෝති අයියා නිතරම නාගන්න ගියේ මාලිගාවත්ත අබේසිංහාරාමයේ තිබුණු නාන ළිඳටයි. ජෝති අයියා එක්ක ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාත් යනවා මට මතකයි. අද ඒ ළිඳ එතැන නැහැ. මාලිගාවත්තේ ජෝති ගත කළ අතීතය ගැන මියුරියල් මාතාව සිහිපත් කරමින් පවසයි.

හේමාලි රත්නායක ඒ වන විට අවුරුදු දාහතරක පහළොවක යෞවනියකි. අද ඇය ජෝතිපාලයන් පිළිබඳ මතකය මෙලෙස අවධි කරයි.

‘ජෝති අංකල්ව මම දන්නේ තාත්තගේ මිතුරුකමටයි. මම එතකොට පාසල් යනවා. අපේ ෆ්ලැට් එකට එහා එකේ තමයි ජෝති අංකල් හිටියේ. මගේ යාළුවෝ ජෝති අංකල්ව බලන්න හරිම ආසයි. දවසක් මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක සමරු පොත් අරගෙන ජෝති අංකල් ලවා අත්සන් කර ගන්න අපි ජෝති අංකල්ගේ ෆ්ලැට් එකට ගියා. එතකොට ගෙදර හිටියා සිරී ද අල්විස්. එයා ඉදිරියට ඇවිත් කිව්වා ‘ජෝතිට සනීප නැහැ නිදි’ කියලා. අපි කට්ටිය හැරිලා යන්න හදද්දී ගේ ඇතුළෙන් ‘ඒ ළමයින්ට අඬ ගහන්න’ කියලා ජෝති අන්කල් කෑගහලා කිව්වා. ජෝති අන්කල් අපහසුවෙන් වුණත් අපිත් එක්ක කතා කරලා සමරු පොත්වල අත්සන් කළා. මට අදටත් මතකයි කහ පාට බතික් ෂර්ට් එක ඇඳගෙන තමයි හිටියේ. ජෝති අන්කල් නිතරම සිගරට් බිව්වා. අපේ ගේ ළඟ තිබුණු කඩෙන් තමයි සිගරට් අරගත්තේ. ෆ්ලැට් එකේ හැම දෙනාටම හරියට උදව් කළා.

මට මතකයි ඒ දවස්වල කුඩා දරුවන් දෙදෙනකුගේ මරණ දෙකක් වුණා. ඒ දෙකටම හරියට උදව් කළා. ජෝති අන්කල් මියගිය දවස ගැනත් මට හොඳ මතකයක් තියෙනවා. ජෝති අන්කල්ගේ මරණය අහලා මුළු මාලිගාවත්තම කම්පා වුණා. හරියට සෙනඟ ඇඬුවා. අපිත් ඇඬුවා. මම බිබී හිටපු තේ එක බිම වැටිලා වීදුරුවත් කුඩු වුණා. ජෝති අංකල්ගේ මරණය තිබ්බේ මාලිගාවත්තේ ප්‍රදීපා හෝල් එකේ. ඒ මරණය විතරමයි ඒ හෝල් එකේ තිබ්බේ. එදායින් පසුව කවදාවත් මරණයක් ඒ හෝල් එකේ තිබ්බේ නැහැ. උත්සව පමණයි ගත්තේ. ඊට අමතරව ෆ්ලැට් දෙක අතර මැද ජෝති අන්කල්ගේ මරණය තිබ්බා. එදා නම් හරිම වේදනාබර දවසක් වුණා. ජෝති අන්කල් මිය ගියාට පසුව මුළු මාලිගාවත්තම හරිම පාළුවට ගියා. ඒ පාළුව කවදාවත් මකන්න හැකි වුණේ නැහැ. අවුරුදු 31 ක් වුණත් අදටත් ඒ පාළුව තිබෙනවා. මට මතකයි ජෝති අන්කල් නිතරම ගියා මරදානේ සිංදු කාමරේට.

එය තිබුණේ අද සෝමා කැෆේ එක තිබෙන තැන. ඉස්සර හවස් වරුව ජෝති අන්කල්ගේ නිවෙසට රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, මාලිනී ෆොන්සේකා වගේ නළු නිළියන් එනවා මට මතකයි. අද නම් ජෝති අන්කල් ජීවත් වුණු නිවෙස කාටත් මතක් වෙන්නේ ජෝති අන්කල්ගේ අනුස්මරණයකදී විතරයි. එතකම්ම ජෝති අන්කල් වෙනුවෙන් සැකසූ පිළිරුව සතුන්ගේ ජරාවෙන් පිරිලා තියෙනවා. ඒවා සුද්ධ කරලා ගන්නේ විශේෂ දවසකට විතරයි. එයත් කනගාටුවට කරුණක්. මේ වගේ කලාකරුවන් බිහි වන්නේ ජාතියේ පිනටයි. ඒ අය මිය ගියාම අපි ඔවුන්ට නිසි ගෞරවය පුද දෙන්න ඕනෑ. ජෝති අන්කල් වෙනුවෙන් පවත්වන ජෝතිපාල පදනමේ සාමාජිකාවක් විදිහටත් මම කටයුතු කරනවා. මොනවා වුණත් ජෝති අන්කල් ගැන සරසවියට කතා කරන්න ලැබීම මට සතුටක්’ හේමාලි පවසයි.

හිරු බැස යන්නට ඇත්තෙ තවත් හෝරා කිහිපයක් පමණි. ජෝතිපාලයන් විසූ මාලිගාවත්තෙන් සමුගෙන එන්නට කාලය එළැඹියේ අපටත් නොදැනීමය. ජෝතිගේ නිසොල්මන් පිළිරුව අද්දරින් ඇවිද යන අපට ජෝතිගේ අවසන් කැමැති පත්‍රයේ අවසන් ඉල්ලීම සිහිවිණි. ඒ ඔහුගේ සෑය දවන විට ඔහු ගැයූ පි‍්‍රයතම ගීතය වාදනය කරන ලෙසයි. ඒ ගීතය මුමුණමින්ම අපි ජෝතිටත් මාලිගාවත්තටත් සමුදුනෙමු.

පාළු සුසානේ… ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ… මා තමයි ….
අප දෙදෙනාගේ එදා සෙනේ..
සැමැරුම් කිසිදා මැකී නොයේ…
ඔබට මතක නෑ..
මට අමතක නෑ..

Top