ඥානසාර හිමියන් ගැන අස්ගිරි පාර්ශවයෙන් පැහැදිලි කිරීමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වූ දඩුවම සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කරුණු පැහැදිලි කර තිබෙනවා.
උන්වහන්සේ අද පුවත්පත හා සංවාදයකට එක්වෙමින් දැක්වූ සම්පූර්ණ අදහස්වල උපුටා ගැනීමක් පහතින් කියවන්න.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඔබවහන්සේලාගේ මතය පළමුව  පැහැදිලි කළොත්?

 පසුගිය කාලවකවානුවේ ඥානසාර හිමියන්ගේ සංවිධානය සහ ක්‍රියාකාරකම් පිළිබඳ සමාජය තුළ යම් යම් මතවාද ගොඩනැගුණා. විශේෂයෙන්ම උන්වහන්සේගේ චර්යාමය ක්‍රියාවන් සහ භාෂා ශෛලිය පිළිබඳ සමාජයේ යම් කතිකාවතක් තිබුණු බව අපි දන්නවා. ඒ අවස්ථාවලදී උන්වහන්සේට එරෙහිව යම් යම් බලවේගයන්ද ක්‍රියාත්මක වුණා. එනිසාම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට හෝ කොටුකර ගැනීමට ඇතැමුන්ට යම් අවශ්‍යතාවක්ද තිබුණා. මේ එහි එක් පියවරක් බවට සමාජය තුළ කතාවක් පවතිනවා.
උන්වහන්සේ පෙනී සිටියේ ජාතික ආගමික ශාසනික මෙහෙවර වෙනුවෙන් කියන එක පැහැදිලියි. ඒ අවශ්‍යතාව වරින්වර අපිත් දැක්කා. නමුත් එහිලා උන්වහන්සේ භාවිත කළ වචන හැසිරීම් පිළිබඳ යම් ගැටලුවක් අපටත් තිබුණා. ඒ ආවේගයට පාලකයන් වගකිව යුතුයි.

ඔබවහන්සේලා මේ අර්බුද ගැන මේ දක්වා අවධානයෙන් සිටියාද?

අපි අස්ගිරි පාර්ශ්වය වශයෙන් ගතවූ කාලයේ අස්ගිරි ප්‍රකාශනය මගින් රාජ්‍ය නායකත්වයට රට තුළ පවතින මෙම අවදානම සහ පවතින විරෝධාකල්පයන් පිළිබඳ දැනුවත් කළා. අපට එහි පක්ෂ දේශපාලනයක් නොව ජාතික ශාසනික ආගමික වශයෙන් දැක්මක් තිබුණා. එවැනි දේ වෙනුවෙන් පාලක පක්ෂයේ වගකිවයුත්තන් නිසි අවස්ථාවල වගකීමෙන් මැදිහත් වූවා නම් මේ අර්බුදය මෙහෙම දිග්ගැහෙන්නේ නැහැ.

ඒ කියන්නේ ඔබවහන්සේලාගේ හඬට පාලකයන් ඇහුම්කන් දුන්නේ නැහැ කියන එකද?

 නැහැ. මුල් අවස්ථාවල රජය පැත්තෙන් අපි කළ ඉල්ලීමට යම් තරමක යහපත් ප්‍රතිචාරයක් දැක්වූවා කියන එක කිව යුතුයි. එහෙත් එය දිගුකාලීන සහ ප්‍රතිපත්තිමය වශයෙන් පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් නොවුණා කියන අදහස තියෙනවා. එහෙම වුණා නම් මෙහෙම දෙයක් නොවෙන්නත් තිබුණා. එතනයි අප දකින වරද සහ ප්‍රමාදය තියෙන්නේ.

ගලගොඩඅත්තේ හිමියන් වරදක් කළා නම් ඔබ වහන්සේලාගේ මැදිහත්වීම  ගළපන්නේ කොහොමද?

ඒත් උන්වහන්සේ කළේ අපරාධයක් නෙවෙයි. උන්වහන්සේගේ සමාජ කාර්යභාරය සහ ආගමික වගකීම බොහෝ අවස්ථාවල අප තේරුම් ගත්තා. අනික මෙතෙනදි අපේ පොදු සාධකය වන්නේ උන්වහන්සේද භික්ෂුවක් නිසා උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමයි. එයට

උන්වහන්සේගේ නිකාය අපට අදාළ නැහැ.ඒ කිව්වෙ?

උන්වහන්සේ කෝට්ටේ පාර්ශ්වයේ හිමි නමක්. නමුත් නිකාය කියන දේ පසුකාලීනව බිහිවූ දේවල්. ඒත් හික්ෂූත්වය සැලකීමේදී හැම භික්ෂූන් වහන්සේ නමක්ම එකම බුද්ධශාසනයක් තුළ පවතින බව කිව යුතුයි.

ඔබවහන්සේලා මෙම තීන්දුවෙන් පසු නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට යම් චෝදනාවක් ඇසෙනවා?

ඔව්. මෙම නඩු තීන්දුව හමුවේ අප නිහඬව සිටින්නේ ඇයිදැයි කියන සමාජ කතිකාවත අපට චෝදනාවක් ලෙස ඇසුණා. එතෙනදි අපි අධිකරණයේ තීන්දුව විවේචනය කිරීම යුක්ති සහගත නැහැ. එනිසා අපි අධිකරණයේ තීරණය පිළිබඳ විවේචනයෙන් වැළකී සිටිනවා. අපි අධිකරණයට ගරු කරනවා.

නමුත් පොදුවේ ගත්තොත් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ භික්ෂූන් වහන්සේලා හැටියට අපට යම් ගැටලු තිබෙනවා. පැහැදිලි කළොත්?

අදටත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීතිය බව කවුරුත් දන්නා දෙයක්. එය අපට ලැබෙන්නේ යටත්විජිත සමයෙන් පසු සහ එදා සිට වසර හාරසියයක් පමණ කාලයක් තිස්සේ ආපු විදේශීය නීති පද්ධතියක් තුළයි. එතෙනදි ඒ නීතියට අපේ බුදුදහමේ සම්ප්‍රදායන්, වත්පිළිවෙත්, චර්යාවන්, කැප අකැප දේ පිළිබඳ ඇතුළත් කිරීමක් සිදුවෙලා නැහැ.
නමුත් අපේ රටේ භික්ෂූන් වහන්සේලා කෙරෙහි පවතින සම්ප්‍රදායන් තුළ ඒවා නීතිය බවට පත්වෙලා, පිළිගැනීමට ලක්ව තිබෙනවා. එය යටත්විජිත නීතියට වඩා වෙනස්. නමුත් ලංකාවේ නීති පද්ධතියට ඒ දේ අඩංගු නොවීම නිසා ගලගොඩඅත්තේ හිමියන්ගේ අර්බුදය නෛතික වශයෙන් යම් අර්බුද තත්ත්වයන් මතුකර තිබෙනවා. අධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාට කළ හැක්කේද තමන්ට පවතින ප්‍රතිපාදන තුළ නීතිය බලාත්මක කිරීමයි.

සිවුරු ගලවා ජම්පරය ඇන්දවීම බෞද්ධ වත්පිළිවෙත් අනුව පැහැදිලි කළොත්?

 මෙහෙමයි. භික්ෂූන් වහන්සේ නමක් ලෙස යමෙකු භික්ෂූත්වයට පත්වීම සාමණේර දිවිය, උපසම්පදාව ආදී විධිමත් ක්‍රියාදාමයක් සාම්ප්‍රදායිකව බුදුහිමි සමයේ සිට පැවත එනවා. ඒ සම්මතය සහ සම්ප්‍රදාය අනුව භික්ෂූන් වහන්සේ නමකගේ සිවුරු ගැලවීමට ගිහියෙකුට බන්ධනාගාරය තුළදීවත් අයිතියක් නැහැ. එසේ ගලවා දමා භික්ෂූන් වහන්සේ නමක් අපහසුතාවට පත්කිරීම ගිහියෙකු විසින් නොකළ යුතු දෙයක් හැටියට සම්ප්‍රදාය තුළ පවතිනවා.
නීතිය සර්ව සාධාරණ විය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් මූලික නීතිය යටතේද විවරණය කරනවා. එහෙම නම් එවැනි ප්‍රතිපාදන තුළ රැඳී විනිසුරුවරුන්ට තීරණ ගැනීමේ හැකියාව ඒ ඒ අවස්ථාව අනුව තිබෙනවා කියන එකයි මගේ යෝජනාව. නමුත් භික්ෂූන්

වහන්සේලාගේ ගරුත්වය රැකීමට අවශ්‍ය නීති සම්පාදනයට රාජ්‍යයට වගකීමක් තිබෙනවා.තවදුරටත් පැහැදිලි කළොත්?

ඔබට මතක ඇති දැනට මාස හය හතකට පෙර යාපනයේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට එරෙහිව එම ප්‍රාදේශීය සභාවක් විසින් අධිකරණයට නඩුවක් ගොනු කළා. අදාළ හිමිනමට අසුන් පනවන ලෙස එහිදී එම නඩුව විනිශ්චය කළ විනිසුරුතුමිය පළමුව උපදෙස් දුන්නා.
ජාත්‍යන්තර වශයෙන්ද එවැනි සංස්කෘතික ආගමික අනන්‍යතාවන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරනවා. මුස්ලිම් ජාතිකයන්ට තම හිස්වැසුම් දමාගෙන අධිකරණ ශාලාවට යා හැකියි. වරක් වැදිනායක තිසාහාමි තම කෙටි පොරව කරේ නොමැතිව අධිකරණ  ශාලාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළා. අවසානයේ විනිසුරුතුමා එයට අවසර දුන්නා. තිසාහාමි පැවසුවේ එය මගේ ගෝත්‍රයේ අනන්‍යතාව සංකේතවත් කරන
සාධකයක් බවයි. හැමවිටම ජාතික ආගමික ගෝත්‍රික අනන්‍යතාව පිළිගැනීමට සහ ගරු කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ පවා අවස්ථාව ලබා දී තිබෙනවා. නඩුකාරතුමන්ලා පවා ඒ අනුව කටයුතු කර ඇති බව ඉහත තීන්දු පෙන්වා දෙනවා.

බුදුදහමේ විනය නීති අනුව සිවුරු ගලවා ඉවත් කළ පසු භික්ෂූත්වය අහිමි වෙනවාද?

බුදුදුහම අනුව තම කැමැත්තෙන් විනා තවත් අයෙකුගේ කැමැත්ත මත සිවුරු ඉවත් කළ නොහැකියි. හැමවිටම භික්ෂු සංස්ථාව තුළ උන්වහන්සේලාට ඇති තැන ලබාදීම බන්ධනාගාරයත්, අධිකරණයත්, සමාජයත් තුළ ස්ථාපනය විය යුතුයි යන යෝජනාව අප කරන්නේ ඒ භික්ෂූත්වය බලෙන් අහිමි කළ නොහැකි කරුණක් නිසයි.

නමුත් උපරිම දින හයක් දක්වා  සිවුරු නොදරා සිටිය හැකි යැයි මතයක්ද ඇසුණා?

  ඔව්. බුදුන් සමයේ හොරුන්ගේ පහරදීම් හෝ වෙනත් හිංසනයන් නිසා වෙස් වළාගත යුතු අවස්ථා තිබුණා. එතෙනදි බුදුන්වහන්සේ උපදෙස් දුන්නා දින හයක් සිවුර නොමැතිව සිටිය හැකියි කියා. ඒ තම ආත්මාරක්ෂාව වෙනුවෙන් කළ දෙයක්. එයින් භික්ෂූත්වය අහිමි වන්නේ නැහැ.

වරදකදී විනය නීති අනුව සිවුරු ඉවත් නොකළොත් වෙනත් තැනකත් පැවිද්දෙකු ලෙස ගත කළ හැකියි නේද?

  සිවුර දැරිය හැකි වුවද එය අකමැත්තෙන් ගලවා දැමිය නොහැකියි. එනිසා භික්ෂුවක් නිකායෙන් පහකිරීමෙන් පසු එම නිකායෙන් ඉවත් විය හැකියි. නමුත් පාරාජිකත්වයට පත් වූ පසු භික්ෂුවට විනයානුකූල බලයක් නැහැ.

රටේ අධිකරණ නීතිය ඉදිරියේ දඬුවම් ලද භික්ෂූන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ විනය අනුව තීරණය කුමක් විය හැකිද?

  නීතිය ඉදිරියේ යම් වරදක් කළා යැයි චෝදනාවක් තියෙනවා නම් එය කාරක සංඝ සභාව හමුවේ විභාග කර විමසුමට ලක් කළයුතු කරුණක් හැටියටයි අප පිළිගන්නේ. ඒ අනුව එම මහානායක හාමුදුරුවරු ඒ තීරණය ගත යුතුයි.

එහෙම නම් ගලගොඩඅත්තේ හිමියන් ජම්පරය ඇඳීම තුළ උන්වහන්සේගේ භික්ෂුත්වය අහිමි වන්නේ නැද්ද?

ඒක මෙහෙමයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තම සිවුරු ගැලවීම ප්‍රතික්ෂේප කළා. ජම්පරය ඇඳ ගැනීමත් ප්‍රතික්ෂේප කළා. එහෙම නම් එය කැමැත්තෙන් සිදුනොවුණ දෙයක්. එහෙම නම් ජම්පරය ඇන්දා හෝ සිවුරු ඉවත් කළා කියල උන්වහන්සේගේ පැවිදි බවට එයින් කිසිම හානියක් වන්නේ නැහැ. නමුත් භික්ෂූන් වහන්සේලාගේ ගරුත්වයට ඇති වන හානිය අවධාරණය කළ යුතුයි.

මෙයට පෙර බන්ධනාගරගත වූ සෝමාරාම හිමි, මෑත කාලයේ බන්ධනාගාරගත කළ රුවන්වැල්ලේ ජ්‍යෝතීර්වේදියෙකු ලෙස පෙනී සිටි චීවරධාරියා, දකුණු පළාතේ මිනීමැරුමකට සම්බන්ධව මරණ දඬුවම නියම වූ භික්ෂුව සම්බන්ධයෙන් ජම්පරය බලපෑවේ කොහොමද?
අපි බැලිය යුත්තේ වරදේ ස්වභාවය අනුවයි. සෝමාරාමට මිනීමැරීමේ චෝදනාවක්. රුවන්වැල්ලට අපචාරය සම්බන්ධ චෝදනාවක්. අනෙක් කෙනාට ගිහි සමයේ කළ මිනීමරු චෝදනාවක්.

එහෙම වෙනකොට ඒවා අපරාධ නීතිය යටතේ බරපතළ වැරදි  බව පෙනෙනවා. නමුත් මෙතැන ඇත්තේ බහින්බස් වීමක් හෝ සුළු ආරවුලක් බව පැහැදිලියි. එය සිවිල් නඩු නිමිත්තක්.

සංඝ කතිකාවතක් තිබුණා නම් මෙහෙම නෛතික අර්බුදයක් මතු විය නොහැකියි නේද?

ඒක වැරදියි. එහෙම එකක් ගෙන ඒමේ යටි අරමුණ භික්ෂූන් වහන්සේ වෙතින්ම සදොස් නීති සකස් කර ඔවුන්ගේ සිවුරු ගලවා දැමීමේ උත්සාහයක් කියන එක අපි එදත් කිව්වා. අදත් කියනවා. ඒ දේ ඒ ආකාරයෙන් සිදුවන බවත් දැන් පෙනෙනවා. එනිසා එවැනි දේ ගැන අපේ
විශ්වාසයක් නැහැ.

නායක හිමිවරුන් වශයෙන් මෙවැනි සිදුවීම්ලදී නිහඬ බව රකිනවා යැයි ජනතාව මැසිවිලි නගනවා. ඒ ඇයි?

අපට පොදුවේ භික්ෂුව යන තේමාව යටතේ කටයුතු කළ යුතුව ඇති බව මම මුලින් සඳහන් කළා. මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව පිටිදූවේ හිමියන් සම්බන්ධයෙන් එවැනි අවවාදයක් කළා. එතෙනදි වරද කරන භික්ෂුවගේ නිකාය කුමක්ද යන්න නොව සියලුම නිකායන්හි මහානායක හිමිවරුන් එකතු වී ඒ ගැන තීරණය කරනවා.

ඔබවහන්සේ පවසන පරිදි බෞද්ධ සම්‍ප්‍රදාය සහ සම්මතයට ගැළපෙන පරිදි නීතිය සම්පාදනය කිරීමට මේ වන විට ගෙන ඇති යම් උත්සාහයක් තිබෙනවාද?

පසුගිය දිනවල අපි මේ ගැන සාකච්ඡා කළා. රෝම ලන්දේසි නීතිය වගේම වසර දෙදහස් පන්සියයක් පැරණි අපේ බෞද්ධ නීතිය මෙයට කෙසේ ගැළපිය යුතුද යන ක්‍රමය පිළිබඳ අප කතා කළා.
නමුත් අපේ රටේ ආගමික වශයෙන් නීති පද්ධතිය වෙනස් මුහුණුවරක් ගන්නවා. එයින් අපේ බහුතරයක් වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධකමට අදාළ නීති සම්පාදනයේදී ඒ ගැන සැලකීමක් නැහැ.

ඒක බරපතළ චෝදනාවක්? තවත් පැහැදිලි කළොත්?

  අද ඇතැම් ආගම්වල වයස අවුරුදු 14දී විවාහ විය හැකියි කියනවා. නමුත් තම කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාරයෙකු සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම වරදක් බවත් අපරාධ නීතිය කියනවා. එම නීතිය අනුව එකම රටේ එක් ආගමක අයට එක් ආකාරයකින්ද, තවත් ආගමකට තවත් ආකාරයකින්ද නීතිය සම්පාදනය වෙනවා.

  සතුන් ගැන තිබෙන අණපනත් ගන්න. පෙරහරට අලි යොදා ගැනීමෙන් ඔවුන් හිංසනයට පත්වෙනවා යැයි ඇතැමුන් චෝදනා කරනවා. ඒත් ඇතැම් ආගම්වල අය තමන්ගේ නිවාසයක් හැදුවත් හරකෙක්, එළුවෙක් නිවස තුළ මරා ඒ ලෙයින් නිවස සෝදා ආගමික ගෙවදීමේ

පිළිවෙත් ඉටුකරනවා. ඒක සත්ත්ව හිංසාවක් නෙවෙයිද? ඔබ වහන්සේට හැඟෙන පරිදි නීතියේ ස්වභාවය කෙබඳුද?

එතෙනදි බුදුදහම අනුව එහි ඇත්තේ වරද පෙන්වා දී ප්‍රතිශෝධනය කිරීමයි. බටහිර රෝම ලන්දේසි නීතියේ ඇත්තේ පළිගැනීමයි. ඔවුන් එය දතට දතක්, ඇසට ඇසක් ලෙස විග්‍රහ කරනවා.
වරින්වර සමාව ඉල්ලා සිටීම හෝ සමාව දීම කෙතරම් සුදුසුද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. සමාවක් ලැබුණා කියමුකෝ. ඒ ගලගොඩඅත්තේ හිමියන්ටනේ.

හෙට දවසේ තවත් අයෙකු මේ තත්ත්වයට පත්වන තැනට එයින් නීතිය විධිමත් වන්නේ නැහැනේ. එහෙම නම් ඉදිරි දිනයකත් තියෙන්නේ ආයෙත් සමාව ඉල්ලන්නද? අර හාමුදුරුවන්ට දුන් නිසා අපටත් දෙන්න යැයි පුද්ගලානුබද්ධව නීති මැවීමද? එයට වඩා හොඳ නැද්ද රාජ්‍ය මට්ටමෙන් මේ ගැන විධිමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා නම් කියන තැනයි අපි ඉන්නේ. කොතැන වාසය කළත් භික්ෂුවගේ ගරුත්වය වෙනුවෙන් තම අයිතීන් දැරීමට අවස්ථාව මූලික නීතියෙන් තහවුරු කළ යුතුයි.

ඔබවහන්සේලා රාජ්‍ය මට්ටමෙන් හෝ නිකායික වශයෙන් මෙවැනි උත්සාහයක් ගත්තේ නැද්ද?

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව, නේපාලය භූතානය වැනි රාජ්‍යයන්හි ආගමික නායකයන් නීතිවේදීන් ප්‍රධාන විද්වතුන් මෙවැනි නීති සම්පාදනය සහ අවශ්‍යතා සම්බන්ධයෙන් සාකච්ජාවක් ආරම්භ කළා.
තවදුරටත් ජාත්‍යන්තර නීතිය යටතේ පවතින ප්‍රතිපාදන සමග ගැළපීමෙන් මෙය විකාශය කළයුතු හදිසි අවශ්‍යතාවක් ලෙස අප දකිනවා. එය රජය පැත්තෙන් කළ යුතුයි. එහිලා මගපෙන්වන්න සහ මාර්ගෝපදේශ හෝ උපදේශ සැපයීමට මහානායක හිමිවරුන්, භික්ෂූන් වහන්සේලා, නීති විශාරදයන් දෙස්විදෙස් සහ සුදුසු සම්පත්දායකයන් නම් කළ යුතුයි.

ගලගොඩඅත්තේ හිමියන් බන්ධනාගාරගත වීම පසුපස තවත් මැසිවිලි චෝදනා යම් පාර්ශ්වයන්ට එල්ල වෙනවා. එහෙම වෙන්නේ ඇයි?

එහෙම වන්නේ ඇයි කිව්වොත් ඒකට උත්තර කිහිපයක් තියෙනවා. එකක් මෙරටට බලපෑම් කරන බෞද්ධකම විනාශ කරන ජාත්‍යන්තර සංවිධාන ආගමික කණ්ඩායම්වල අවශ්‍යතාවයි.
අනික ඒ වගේම ඒ ඉලක්ක සපුරා ගැනීමට යම් කණ්ඩායම් ආයතන පුද්ගලයන් විතරක් නෙවෙයි, දේශපාලන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම දක්වා බලපෑම් කළ හැකි එන්ජීඕ නඩ සිටිනවා. තවත් අතකින් රට තුළ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කරවීමේ කොන්ත්‍රාත්කරුවන් සිටිනවා. මේක ඒ අයගේත් උත්සාහයක්.

ඔබවහන්සේ එහෙම කියන්නේ කිනම් පදනමකින්ද?

සන්ධ්‍යා එක්නැළ‘ිගොඩ මහත්මිය තමන්ගේ සැමියා සොයනවා. ඔහු කවුරු වුණත් බුදුදහම අනුව සත්ත්ව ඝාතනය අපි අනුමත කරන්නේ නැහැ. වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.
නමුත් ගලගොඩඅත්තේ හිමියන්ගේ හැසිරීම සහ ආවේගකාරී ස්වභාවය නිසා ඇය සමග යම් ආරවුලක් ඇතිවෙන්න ඇති. එය මෙරට සමථ මණ්ඩලය හමුවේ විසඳාගත හැකිව තිබුණු යමක් බව නීති ක්ෂේත්‍රයේම ඇතැමුන් පෙන්වා දෙනවා.  මෙය සමථ මණ්ඩලය අභිභවා අධිකරණය දක්වා ගෙන ගිය සහ ඉදිරියටත් ගෙන යන කතාවක් පැවසෙනවා. එහෙම නම් මෙය හිතාමතා හාමුදුරුවන් වහන්සේ කොටුකර ගැනීමේ උත්සාහයක් විය හැකියි. කුරුණෑගලදී බැරියර් දමා කරන්න බැරිවුණු දේ මේ ආකාරයෙන් ඉෂ්ටකර ගත්තා කියලා ඇතැමුන් කියන්නෙත් ඒකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *