ඥානසාර හිමියන් වෙනුවෙන් ජනපතිට ලිපියක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිඛෙනවා.
සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන්ගේ අත්සනින් යවා ඇති එම ලිපියේ දැක්වෙන්නේ ඥානසාර හිමියන්ගේ එම හැසිරීම රණවිරුවන් කෙරෙහි අනුකම්පාවෙන් සිදුකරන ලද්දක් බවයි.

ගරු ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් භික්‍ෂුනමක් වන බැවින් මෙම අවස්ථාවේ උන්වහන්සේ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කිරීම අපගේ වගකීමකි. උන්වහන්සේ පිළිබඳ නඩු කටයුත්ත තවමත් අවසන් වී නැති බැවින් ඒ පිළිබඳව කිසිවක් අපි කතා නොකරමු. අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කිරීම පිණිස පහත සඳහන් කරුණු ඉදිරිපත් කිරීමට අප සංඝ සභාව විසින් තීරණය කරන ලදී.

ගරු ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුනම හෝමාගම ගරු අධිකරණයේ කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන් පත්කර ගැනීම අපේක්‍ෂාවෙන් සිදුකරන ලද්දක් නොවේ. ශ්‍රී ලංකා ජන සමාජය කුරිරු යුද්ධයෙන් ගලවා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන් හමුදා බුද්ධි අංශවල සාමාජිකයන් වෙනුවෙන් උන්වහන්සේ තුළ ජනිත වූ අසීමිත අනුකම්පාව නිසා ඇති වූ සිදුවීමකි.

අතීතයේ පටන් ශ්‍රී ලාංකික භික්‍ෂුව හැමවිටම තම පෞද්ගලිකත්වයට වඩා රට වෙනුවෙන් හා පොදු ජනතාවගේ සුභසිද්ධිය මෙන්ම ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින, ඒ වෙනුවෙන් තම අදහස් නිර්භයව හා අවංකව ප්‍රකාශ කරන චරිතයක් වේ.

මහජනතාව හා රට වෙනුවෙන් කතා කරන බෞද්ධ භික්‍ෂූන්වහන්සේට සිරබත් කන්නට සිදු වුවහොත් එය සමස්ත භික්‍ෂු සමාජයටම අභියෝගයක් විය හැකිය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව රට වෙනුවෙන් මෙන්ම සියලු ජාතීන් හා ආගමිකයන් වෙනුවෙන් පෙනී සිටින යුක්තිය, සත්‍ය හා සාධාරණය ඉහළින්ම අගයන සංඝ සභාවක් බව වැඩිදුරටත් දන්වා සිටීමට කැමැත්තෙමු.