තරබාරු අයට ආයුෂ අඩුවීමේ අවදානමක්

කාර්යබහුල සමාජ රටාව තුළ අධි තරඟකාරී ජීවිත ගත කරන්නන්ට ස්ථුලතාවය වැළදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ. ස්ත්‍රි පුරුෂ භේදයකින් මෙන් ම වයස් සීමාවකින් තොරව ඇති වන ස්ථුලතාවය වර්තමානයේ ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයක් වී ඇත.එසේ වී ඇත්තේ ස්ථුලතාවය හේතුවෙන් රෝග ගණනාවක් වැළදීමට හැකි නිසාවෙනි. සිත තෘප්තිමත් වන අයුරින් ආහාරපාන ගෙන කුඩා කාලයේ පටන් ම ස්ථුලතාවයට ගොදුරු වුවන් ද නුතන සමාජයේ දැකිය හැකි ය. මුල් කාල සීමාවේදී ස්ථුලතාවයට නිසි ප්‍රතිකර්ම නොකර සිටීමෙන් සිරුර අවලක්ෂණ වීම පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම රෝගියෙකු මෙන් කල් ගෙවීමට සිදුවේ. ස්ථුලතාවය යනු කුමක් ද? එය වළක්වා ගැනීමට කළ හැකි පිළියම් මොනවා ද? යන්න පිළිබඳව දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඔ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පළ කළ අදහස් මෙසේ ය.
ස්ථුලතාවය යනු කුමක්දැයි පැහැදිලි කරන්න
යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි මේද පටක ප්‍රමාණයක් තිබීම ස්ථුලතාවය යනුවෙන් හදුන්වනු ලැබේ. බාහිරින් දුටු විට මෙම තත්ත්වය මහත එසේත් නැතිනම් තරබාරුබව වශයෙන් සළකනු ලබයි.සැබවින් ම ස්ථුලතාවය යනු වෛද්‍ය විද්‍යාවට අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා මේද පටක තැන්පත් වීම වේ.
ස්ථුලතාවය රෝගයක් වශයෙන් සළකනවා ද?
ඔව්. අතීතයේ දී ස්ථුලතාවය අවධානම් තත්ත්වයක් වශයෙන් සළකන ලදී .එහෙත් මීට වසර දෙකකට පමණ ඉහත දී ඇමරිකාවෙහි ස්ථුලතාවය රෝගයක් වශයෙන් හදුනා ගැණිනි. ස්ථුලතාවය හේතුවෙන් සංකූලතා බොහෝමයක් ඇති වේ. එම නිසා රෝගයක් වශයෙන් හදුනා නොගන්නා අවස්ථාවක දී මිනිසුන්ට මේ සඳහා ප්‍රතිකාර කීරීමට අපහසු වේ. එමෙන් ම ඖෂධ සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීමට ද නොහැකි ය. ඒ හේතුවෙන් වර්තමානයේ දී ස්ථුලතාවය රෝගයක් ලෙස හදුන්වනු ලැබේ.
ස්ථුලතාවය මැන බැලීම සඳහා මිනුම් දඬු කිහිපයක් තිබෙනවා නේද?
දේහ ස්කන්ධ දර්ශකය (Body Mass Index) භාවිතා කර ස්ථුලතාවය මනිනු ලැබේ. පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එම අගය බෙදනු ලබන්නේ උස මීටර් වලින් ලබා ගන්නා අගය වර්ග කිරීමෙනි.ඒ අයුරින් ශරීර ස්කන්ධ දර්ශකය තිරණය කරනු ලබයි. සාමාන්‍යෙයන් ආසියාතික රටක පුද්ගලයෙකුගේ බර 18.5- 23 ක් වේ. බර 23-25 අතර නම් අධි බර යනුවෙන් හදුන්වනු ලැබේ. බර 25 ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුලතාවයෙන් යුක්ත ය.
උදරයේ ස්ථුලතාවය මනිනු ලබන්නේ ඉන වට ප්‍රමාණයෙනි.කාන්තාවකගේ ඉන වට ප්‍රමාණය 80 cm වැඩි නම් උදර ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වශයෙන් හදුන්වයි. එමෙන්ම පුරුෂයෙකුගේ ඉන වට ප්‍රමාණය 90 cm වැඩි නම් එම පුද්ගලයා ද උදරයේ ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වේ.
එමෙන් ම නිවැරදි අකාරයටම ශරීරයේ තිබෙන තෙල් ප්‍රමාණය තීරණය කිරීමට පුළුවන. එහිදී ශරීරයේ මස්පිඩු සහ තෙල් පටක ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්වා දීමට පුළුවන. Bioimpedance ක්‍රමය හා Dexa Scan ක්‍රමය මඟින් එලෙස ශරීරයේ තෙල් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත හැකි ය.
ස්ථුලතාවය ඇති වීමට බලපාන හේතු සාධක මොනවා ද?
යම් පුද්ගලයෙකු ගන්නා කැලරි ප්‍රමාණය එම පුද්ගලයා වැය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි නම් දිනෙන් දින එම පුද්ගලයාගේ ශරීරයේ මේදය තැන්පත් වේ. ඒ වාගේ ම පුද්ගලයෙකු වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ගැනීමෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. එසේ වැඩිපුර ආහාර ගැනීමට බලපාන හේතු කාරණා තිබේ.
සමහර පුද්ගලයින් ජානමය වශයෙන් වැඩිපුර ආහාර ගැනීමට පෙළ‍ඹේ. ජානමය සාධක හේතුවෙන් පවුල තුළ ශරීරය මහත් වු පුද්ගලයින් සිටීමට ද පුළුවන. ඒ හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. ජානමය හේතුන් නිසා නිතර ශක්තිය වැය නොකරමින් ( Sedentary LifeStyle) දිවි ගෙවන්නන්ට ද ස්ථුලතාවය ඇති විය හැකි ය.
සිරුරේ පවතින හෝමෝන මඟින් ස්ථුලතාවය ඇති වනවා ද?
ශරීරයේ තිබෙන සමහර හෝමෝන අධික වීමත්,අඩු වීමත් ශරීරය මහත් වීමට හේතු වේ. තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවය ශරීරය මහත් වීමට ප්‍රධාන හේතු සාධකයක් වේ. කෝටිසෝල් හෝමෝනය අධික වීමේන් ද උදරය ආශ්‍රීත මහත්වීම දැක ගත හැකි ය.පුරුෂයින්ගේ තිබෙන ටෙස්ටෙස්ටරෝන් හොමෝනය අඩු වීමෙන් ද ශරීරය මහත් වීමට පුළුවන.හොමෝනවල බලපෑම බොහෝ දෙනෙකුට ඇතිවන මහත ගතියට ප්‍රධාන හේතුවක් නොවේ.
ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ ප්‍රතිකාර මොනවා ද?
කුමන හේතුවක් නිසා ස්ථුලතාවය ඇති වුව ද පළමුවෙන් ම සිදු කරන්නේ පුද්ගලයාගේ ආහාර රටාව වෙනස් කිරීමයි.එපරිදි ශරීරයේ ශක්තිය වැය කරන ජීවන රටාවකට පුද්ගලයකු හුරු කරනු ලබයි. Orlistat ඖෂධය මඟින් අප ගන්නා ආහාරවල පවතින මේදය ශරීරයට ජීර්ණය වීම වළක්වනු ලබයි.Liraglutide ඖෂධය මඟින් ආහාර ගැනීමේ තෘප්තිමත්බව නැති කරනු ලබයි .එසේත් නැතිනම් ආහාර රුචිය නැති කරනු ලබයි. තව ද මෙම ඖෂධය මඟින් ආමාශයේ පිරී ගිය බවක් ඇති කරයි. ශරීරයේ ශක්තිය වැය කිරීම වැඩි කිරීම ද ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ මඟින් සිදු කරයි.එහෙත් ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ප්‍රධාන ඖෂධ වන්නේ Orlistat ඖෂධය සහ Liraglutide ඖෂධයයි.
වර්තමානයේ දී නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනවා නේ ද?
ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනු ලබයි. එම සැත්කම් ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Bariatric Surgery යනුවෙනි. Restric සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ අමාශයේ කුඩා කිරීමකි. Malabsorptive සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය වන හා ආහාර අවශෝෂණය වන දිග ප්‍රමාණය අඩු කරනු ලැබීම ය.
සමහර ශෛල්‍ය කර්ම Restrictive සැත්කම Malabsorptive සැත්කම යන සැත්කම් දෙකේ එකතුවකින් කරනු ලබයි.Restrictive සැත්කම සඳහා උදාහරණයක් ලෙස Sleeve Gastrectomy සැත්කම ද Malabsorptive සැත්කම සඳහා උදාහරණ ලෙස Gatric Bypass සැත්කම හදුන්වා දිය හැකි ය.
හෘද රෝග ඇති වීම සඳහා ස්ථුලතාවය බලපානවා ද?
ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන කොළෙස්ට්‍රරෝල් සහ අධික රුධිර පීඩනය නිසා හෘද රෝග ඇති විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. එමෙන් ම ස්ථුලතාවය හේතුවෙන් හෘද ආබාධ ඇති නොවී හෘදය අකර්මණ්‍ය වීමට පුළුවන.
ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් මොනවා ද?
ස්ථුලතාවය හේතුවෙන් දියවැඩියාව,අධික රුධිර පීඩනය, අධික කොළෙස්ටරෝල් තත්ත්වයන් ඇති වීමට පුළුවන. මේ රෝගාබාධ හේතුවෙන් හෘදයාබාධ, අංශබාගය,වකුගඩු රෝග,Non Alcoholic Fatty Liver තත්ත්වය, සිරෝසිස් ඇති වීමට පුළුවන.ස්ථුලතාවය හේතුවෙන් පිළිකා වර්ග 12 ක් පමණ වැළදීමේ අවධානමක් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. කාන්තාවන්හට පියයුරු පිළිකා,ගැබ් ගෙළ පිළිකා,ගර්භාෂ පිළිකා තත්ත්වයන් ඇති වීමට පුළුවන. සන්ධි ආබාධ,දණහිස් ආබාධ,කොන්දේ ආබාධ තත්ත්වයන් ද , ලිංගික දුර්වලතා,මඳසරුභාවය, වැනි රෝගාබාධ තත්ත්වයන් ද , Sleep apnea තත්ත්වය ( නින්දේදී ගෙරවීම) ,දිවා කාලයේ දී නිදිමත, අලස බව,ඇති විය හැකි ය.
පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපානවා ද?
වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපාන බව සනාථ වී ඇත.ස්ථුලතාවය මඟින් මානසික නිරෝගී බව අඩු කරනු ලබයි.මානසික ව්‍යකූල තත්ත්වයන් හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැක. එම නිසා මෙය විෂම චක්‍රයක් බවට පත්ව ඇත.
දහවල් කාලයේ දී ආහාර ගැනීමේන් පසු නිදා ගැනීම මඟින් සිරුරේ බර ප්‍රමාණය වැඩි වනවා ද?
තරබාරු අයට ආයුෂ අඩුයි සාමාන්‍යෙයන් පුද්ගලයෙකු අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගත්ත ද නිදා නොගත්ත ද ස්ථුලතාවය ඇති විය හැකි ය.එම නිසා නින්ද අඩු වුව ද වැඩි වුව ද ස්ථුලතාවය ඇති වීමට පුළුවන.දහවල් කාලයේ නිදා ගැනීමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් ස්ථුලතාවය ඇති වන්නට පුළුවන.
දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කොපමණ ද?
දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කරන්නේ එම පුද්ගලයාගේ උස,වයස සහ බර අනුව ය. ඒ අනුව පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමණය ඒ පුද්ගලයා අනුව වෙනස් වේ. එමෙන් ම දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කීරීමේ දී ගර්භනී තත්ත්වය,වෙනත් රෝගාබාධයන් පවතිනවා ද? යනා දී විවිධ හේතු සාධක බලපානු ලබයි. සාමාන්‍යෙයන් කාන්තාවක් සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1600 කි. පුරුෂයෙකු සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1850 කි.


වර්තමානයේ බොහෝ කාන්තාවන් අමතර පෝෂණ අතිරේක භාවිතා කරනවා. එමඟින් ස්ථුලතාවය ඇති වීමට පුළුවන් ද?
නිසියාකාරව ආහාර පාන ගැනීමේ දී අතෘප්තිමත් බවක් නොමැති නම් එසේත් නැතිනම් හොඳින් ආහාර පාන භාවිතයට ගන්නවා නම් අමතර පෝෂණ අතිරේක ගැනීමේ දී දෙවරක් සිතිය යුතු ය.එසේ නොමැති වුවහොත් ස්ථුලතාවය ඇති වීමට පුළුවන. එම නිසා අමතර පෝෂණ අතිරේක ගැනීමට ප්‍රථමයෙන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු ය
කුඩා දරුවන්ට ස්ථුලතාවය ඇතිවීමට පුළුවන් ද?
ඔව්,අනිවාර්යයෙන් ම කුඩා දරුවන්ට ස්ථුලතාවය විශාල ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇත. විශේෂයෙන් ම දෙවැනි කාණ්ඩයේ දියවැඩියා තත්ත්වය කුඩා දරුවන්ට වැළදී තිබේ. කුඩා දරුවන්ට සතියකට පැය 7 ක්, දිනකට පැය 1 ක් ව්‍යායාම කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු බව වෛද්‍යවරුන් වශයෙන් අප උපදෙස් දී ඇත. එසේ වුවත් වර්තමානයේ පවතින විභාග මුලික අධ්‍යාපන රටාව හමුවේ දෙමාව්පියන් තම දරුවන්ව අධ්‍යාපන කටයුතුවලට පමණක් යොමු කරනු ලබයි. එමෙන් ම අතීතයේ දී දරුවන් නිදහසේ ඉඩකඩ ඇති පරිසරයක කෙළි සෙල්ලම් කළ ද වර්තමානයේ දී නගරබඳ ප්‍රදේශයන්හි සිමීත ඉඩ ප්‍රමාණයක් තුළ දරුවන්ට කෙළි සෙල්ලම් කිරීමට නොහැකි වී තිබේ. දරුවන් වර්තමානයේ දී විවේක කාලය ගත කිරීමට පුරුදු වී සිටින්නේ ජංගම දුරකතන හා විවිධ තාක්ෂණික උපකරණ සමඟ ය. කුඩා දරුවන් මේ තත්ත්වයන් හේතුවෙන් කුඩා දරුවන්ට ස්ථුලතාවය වැළදීමේ අවස්ථාවන් වැඩි වී තිබේ.
ශ්‍රී ලංකාව අඩු ආදායම් සහිත රටක් වශයෙන් සිට නුතනයේ දී මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත් වෙමින් පවතී.එම නිසා ශ්‍රී ලංකාවේ පවුල්වල විශාල වශයෙන් ආහාර හිඟතාවක් පවතින්නේ නැත. එම නිසා ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය අඩු වුණත් පිෂ්ඨමය ආහාර සුලභව පවතී.
ස්ථුලතාවයෙන් මීදීම සඳහා පුද්ගලයෙකු ආහාර පාලනය කළ යුත්තේ කෙසේ ද?
ස්ථුලතාවයෙන් මිඳීම සඳහා විශේෂයෙන් ම ස්ථුලතාවයට හේතුවන ආහාර ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිය යුතු ය. පිෂ්ඨජනක ආහාර, තෙල් සහිත ආහාර මෙන් ම සිනී සහිත ආහාර අඩුවෙන් අහාරයට ගත යුතු වේ. ඊට අමතරව බඩගිනි වු විට ස්ථුලතාවයෙන් මිදීම සඳහා ගත යුතු ආහාර ගැනීමට කල්පනාකාරී විය යුතු ය. ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට කොළ පාටට හුරු පිෂ්ඨය අඩු එළවළු වන සලාද,පිපිඤ්ඤා,බටු,මෑ,බණ්ඩක්කා, දඔල,බෝංචි යනාදියත් කොළ පැහැති පළතුරු වන වෙරළු,නෙල්ලි,ග්‍රීන් ඇපල් , අලිපේර සහ දිවුල් යනා දී පළතුරු ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
කෙසෙල්, ගස්ලබු,ඇපල් වැනි පළතුරුවල සිනී වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව පවතින නිසා එම පළතුරු ආහාරයට ගැනීම ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින් සීමිතව ගත යුතු ය.ඒ වාගේ ම වට්ටක්කා, අල,බතල,කොස්,දෙල් වැනි එළවළු වර්ග ද ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින් අඩුවෙන් ගත යුතු ය.
දීර්ඝ කාලයක් ස්ථුලතාවය පැවතීමෙන් ආයු කාලය අඩු වනවා ද?
ඔව්, වෛද්‍ය පරීක්ෂණ මඟින් මේ බව සනාථ වී තිබේ. ශරීරයේ අධික මහත තත්ත්වය දීර්ඝ කාලයක් පුරා පැවතීමෙන් ආයු කාලය අඩු වීමක් සිදුවේ.
ස්ථුලතාවය වළක්වා ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකර්ම අතරතුර බටහිර ඖෂධ භාවිතා කිරීමෙන් ගැටලුවක් ඇති වනවා ද ?
ඒ සඳහා නිවැරදි පිළිතුරක් දීමට අපහසු ය. මන්ද යත් ස්ථුලතාවය වළක්වා ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකර්ම අතරතුර බටහිර ඖෂධ භාවිතා කිරීමෙන් එම ඖෂධ එකිනෙකට ක්‍රියාකරන ආකාරය පිළිබඳව පරීක්ෂණාත්මකව දැනට තහවුරු කර නොමැති නිසාවෙනි.
ස්ථුලතාවය පාලනය කිරීම සඳහා තිබෙන ව්‍යායාම ක්‍රම මොනවා ද?
ස්ථුලතාවය සඳහා සිදු කරනු ලබන ව්‍යායාම තීරණය කරනු ලබන්නේ ඒ ඒ පුද්ගලයාගේ හැටියට ය.විශේෂයෙන් ම ඇවිදීම සුදුසු ව්‍යායාමයක් වේ.එහෙත් අධික ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින් ඇවිදීම,දීවීම වැනි ව්‍යායාම් කිරීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතු ය. ඇවිදීමේදී අධික ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින්ට දණහිසෙහි ආබාධ, දණිස් ඉදීමම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින්ට පිහිනීම, බයිසිකල් පැදීම ද සිදු කළ හැකි ව්‍යායාම වේ.තව ද සමහර ස්ථුල.තාවයෙන් යුක්ත පුද්ගලයින්ට ශරීරයේ මාංශපේශී හොඳින් ක්‍රීයාකරන, එක ස්ථානයක සිට කළ හැකි ව්‍යායාම කිරීමට උපදෙස් දීමට පුළුවන.එවැනි ස්ථුලතාවයෙන් යුත් දණහිස් ආබාධ තිබෙන පුද්ගලයින්ට සුදුසු වන ව්‍යායාම ක්‍රමයන් ද අපට හදුන්වා දීමට පුළුවන. ඒ කෙසේ වුව ද ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකු ව්‍යායාම සිදු කිරීමට ප්‍රථමයෙන් හරියාකාරව භෞත චිකිත්සකවරයෙකුගේ ,ව්‍යායාම උපදේශකවරයෙකුගේ ,හෝ ක්‍රීඩා උපදේශකවරයෙකුගේ උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එසේ නොකොට හිතුමතයට අනුව ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයින් ව්‍යායාම සිදු කළ හොත් විශාල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.
බෙහෝ රෝගීන් ප්‍රකාශ කරනවා යම් යම් ඖෂධ ගැනීමෙන් ශරීරයේ බර ප්‍රමාණය වැඩිවන බව. එසේත් නැත්නම් අවසානයේ දී ස්ථුලතාවයට පත්වන බව කියලා. එහි සත්‍ය අසත්‍යතාවය කුමක් ද?
සමහර ඖෂධ වර්ග භාවිතා කිරීම මඟින් ශරීරය මහත් වී අවසානයේ දී ස්ථුලතාවයට පත් වීමට පුළුවන. දියවැඩියා රෝගීන්ට දෙනු ලබන Metformin ඖෂධය මඟින් ශරීරය මහත් වීම සිදු වන්නේ නැත. එහෙත් දියවැඩියා රෝගීන් සඳහා දෙනු ලබන ඉන්සියුලින් ඖෂධය මඟින් ශරීරය මහත් වීමට පුළුවන.ඊට අමතරව sulfonylurea සහ Pioglitazone යන ඖෂධ මඟින් ශරීරය මහත් වීමට පුළුවන. එමෙන් ම මානසික රෝග සඳහා දෙනු ලබන ඖෂධ මඟින් ද ශරීරය මහත් වී අවසානයේ දී ස්ථුලතාවයට පත් විය හැකි ය.ඊට අමතරව Steroids ඖෂධ මඟින් ද ශරීරය මහත් වීමට පුළුවන.
ශ්‍රී ලංකාවේ පවතින ස්ථුලතාවය පිළිබඳව ඔබ දරණ අදහස කුමක් ද?
ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ස්ථුලතාවය දැඩි අර්බුදකාරී සෞඛ්‍ය ගැටලුවක් බවට පත් ව ඇත. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ජීවත්වන වැඩිහිටියනන් අතුරින් 30% කට වැඩි ප්‍රමාණයකට අධි බර සහ ස්ථුලතාවය පවතී.ස්ථුලතාවයට පත් වුවහොත් කෙට්ටු වීමට ඉතාම අපහසු වේ. එම නිසා ස්ථුලතාවයට පත් වීමට පෙරම , මුල් කාලසීමාවේ දීම එය වළක්වා ගැනීමට හැකි සෑම පියවරක් ම ගත යුතු ය. තව ද කුඩා දරුවන්ට ඇතිවන ස්ථුලතාවය එම දරුවා වැඩිහිටියෙකු බවට පත් වුව ද තිබෙන්නට පුළුවන. එම නිසා කුඩා කාලයේ පටන්ම ස්ථුලතාවය ඇති නොවීමට වග බලා ගැනීම ඉතාමත් වැදගත් වේ.
මදාරා මුදලිගේ (Silumina)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *