ත්‍රස්ත චෝදනා ලැබූ ලාංකීය සිසුවා නිදහස්

ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවකු වන මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කළ චෝදනා සහ නඩුව එරට පොලීසිය ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙන් නඩුව ඉල්ලා අස් කරගත් බවයි ඔස්ටේ්‍රලියානු මාධ්‍ය පවසන්නේ.

නිව් සවුත්වේල්ස් සරසවියේ අධ්‍යාපනය හදාරන සිසුවෙකු වන මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයෙකු යැයි පවසමින් පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත් අතර එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ජූලි බිෂොප් ඝාතනය කිරීමට තැත් කළ සැලසුමක් සම්බන්ධ සටහනක් ඔහුගේ සටහන් පොතක තිබූ බවටයි චෝදනා එල්ලවුණේ.

කෙසේ වෙතත් සොයා ගත් සටහන්වල පැවති අත් අකුරු ඔහුගේ අත් අකුරු බවට සහතික කිරීමට පසුගිය නඩු වාරයේදී එරට පොලීසිය අපොහොසත්වූ අතර ඒ සදහා සිදුකළ අත්අකුරු පරීක්ෂාවේදී එම සටහන්වල අත්අකුරු නිසාම්ඩීන්ගේ අත් අකුරු වලට සමානවී තිබුණේ නැහැ.

ඒ අනුව තම සේවාදායකයාට සිදුවූ අගතිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි නිසාම්ඩීන්ගේ නීතීඥවරයා අධිකරණය හමුවේ සදහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *