තෙබුවන සැරයන් අමාරුවේ දැමූ ස්ථානාධිපති කොටුවෙන ලකුණු

කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතා විසින් අත්අඩංගුවට ගෙන තිබූ වැලි ලොරියේ බලපත්‍රයේ ගැටලු රැසක් පවතින බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙලිව ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් මීට අදාළව විමර්ෂණ සිදුකල අතර එම බලපත්‍රයේ ගැටලු තිබියදී ලොරි රථය මුදා හැරීම ගැටලුකාරී බවයි මෙහිදී හෙළිව ඇත්තේ.

ඒ අනුව ලොරිය සහ සැකකරු නිදහස් කිරීම පිළිබඳව තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයිද එම වාර්තා හෙළි කළා.

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම හෝ තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත වැලි ලොරිය සහ සැකකරු මුදා හැරියේදැයි යන්න හෙළිකර ගැනීමට විමර්ෂණ ක්‍රියාත්මකයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා යටතට පැවරීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම ඒකකයේ සහකාර පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් තෙබුවනට පිටත් කර යවනු ලැබුවා.

තමා විසින් අත්අඩංගුවට ගන්නා ලද වැලි ලොරියක් උසාවියට ඉදිරිපත් නොකර ඉහළ නිලධාරීන් විසින් නිදහස් කරන ලදැයි කියමින් තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන ඉකුත් 03 වැනිදා දහවල් සිය රාජකාරි ගිනි අවිය ද රැගෙන තෙබුවන නගරයේ පැය දෙකකට ආසන්න කාලයක් විරෝධයේ නිරත වුණා.

මේ වන විට ඇප මත මුදා හැර සිටින සැරයන්වරයා වැඩ තහනමකටද ලක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *