You are here
Home > ආසන්න-පුවත් > දරුවකු බිහිකර පාරේ දමා ගිය වෛද්‍ය සිසුවියකට සුනඛයකුගෙන් පාඩමක්

දරුවකු බිහිකර පාරේ දමා ගිය වෛද්‍ය සිසුවියකට සුනඛයකුගෙන් පාඩමක්

දින 12ක් වයසැති බිළිදු දරුවකු මග දමා යාමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22)රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිඛෙනවා.
අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතායි නියෝගය නිකුත් කළේ.
රාත‍්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට භාජනය කර පලා යාමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර සිසුවිය පොලොන්නරුවේදී අත්අඩංගුවට ගැණුනා.
සිද්ධියට අදාළව සිදුකළ ඩී එන් ඒ පරීක්ෂණයේදී සැකකාරිය බිළිදාගේ මව ලෙසයි තහවුරු කරගෙන ඇත්තේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එම බිළිදා මේ වන විට ප්‍රතිකාර ලබනවා.
බිළිදා ඔතා තිබූ සුදු රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ පාද සටහන් ඇති බවට සලකුණු දක්නට තිබී ඇති අතර එම සුනඛයා දරුවාට කිසිදු හානියක් නොකිරීම විස්මිත බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ වුණේ.
දරු ප‍්‍රසූතියක් අපේක්ෂාවෙන් පුලියන්කුලම ප‍්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවිය  මීට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවකු ප‍්‍රසූත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බවයි අනාවරණය වී තිබුණේ.
ඇය එම ප‍්‍රදේශයේ තරුණයකු සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගෙන ඇති අතර පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව සිය මවට පියාට හෝ පවුලේ කිසිවකුට පවසා නොමැති බවත් අනාවරණයේ දැක්වෙනවා.
දරුවකු ප‍්‍රසූත කළ බව දෙමවිපියන් දැනගත හොත් තමා මරා දමනු ඇතැයි බිය නිසා  දරුවා මෙලෙස දමා පැන ගිය බවයි සැකකාර සිසුවිය පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ.
ඇය අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවා ඇය දැඩි අකමැත්තක් පලකර තිබුණා.
සිය සැමියා ජපානයේ රැකියාවක් කරන බව පවසමින් සැකකාරිය අදාළ කුලී නිවසේ රැදී සිට ඇති බවද අනාවරණවී තිඛෙනවා.

Top