දළ පූට්ටුවා ඇතුලු ඇතුන් වෙනුවෙන් ස්මාරකයක්

පසුගිය කාලයේ වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව වාසීන්ගේ ම සිත්සතන් කම්පා කළ හස්ති ඝාතන කිහිපයක් සිදුවිය. ඒවා අතරින් වඩාත් සංවේදී සිදුවීම් දෙක්ක වූයේ ගල්ගමුව අවට සැරිසැරූ සියඹලන්ගමුවේ ඇත් රජුගේ සහ දළ පූට්ටුවා නමින් හැඳින්වුණු ඇත් රජුගේ ඝාතන දෙකය. සියඹලන්ගමුවේ ඇත් රජු ගල්ගමුව, සියඹලන්ගමුවේ සිට ප්‍රවාහනය කෙරෙන අතර මඟදී වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය ගිය අතර දළ පූට්ටුවාගේ මරණය සිදුවූයේ ඇත් දළ සොරු‍න්‍‍ගේ වෙඩි පහරකිනි.

මෙම ඝාතන දෙකින් ගල්ගමුව ප්‍රදේශවාසීන් කෙතරම් කම්පාවට සහ සංවේගයට පත්වීද යත් එම සතුන් සිහිකොට මතක බණ සහ සාංඝික දානාදී පිංකම් ද සංවිධානය කොට තිබිණ.

එමෙන්ම එම කම්පාව සහ සංවේගය ඇතිවී නැතිවී යන උද්වේගයක් නොවන බව සනාථ කෙරෙන මානුෂීය ඉදිරි පියවරක් පිළිබඳවද අපට අසන්නට ලැබිණ. ඒ එම සතුන් දෙදෙනා වැඩිපුරම ගැවසුණු ගල්ගමු‍වේ උස්ගල – සියඹලන්ගමුව වැව් පරිශ්‍රයේ එම සතුන් දෙදෙනාගේ සජීවී ප්‍රමාණයේ පිළිරූ දෙකක් සහිත ස්මාරකයක් ඉදිකිරීමට එම ප්‍රදේශයේ දැනඋගත් තරුණ පිරිසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටීමය.

‘සොබාදමේ කැපකරුවෝ’ නමින් පිහිටුවා ගෙන ඇති මෙම සංවිධානය මඟින් ඉදිකිරීමට යෝජිත මෙම ස්මාරකය නම් කොට ඇත්තේ ‘සත්ව අවිහිංසා පිළිරුව’ යනුවෙනි. සත්ව අවිහිංසාව පරමාදර්ශයක් සේ සලකන අතරේ බරපතල අයුරින් සත්ව ඝාතන ද සිදුකෙරෙන අප රටේ සත්ව අවිහිංසා පිළිරුවක් ඉදිවන ප්‍රථම අවස්ථාව ද බොහෝවිට මෙයම වනු ඇත.

‘සොබාදමේ කැපකරුවෝ’ නම් සංවිධානය මේ වන විට ද ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධානයක් වන අතර එනමින් ගල්ගමුව ලංකා බැංකු ශාඛාවේ ගිණුමක්ද අරඹා තිබේ. මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ගල්ගමුවේ උස්ගල සියඹලන්ගමුවෙහි පදිංචි ක්‍රිෂාන්ත නන්දසේන මහතාය.

මෙහිදී එම සතුන් දෙදෙනාගේ ඡායාරූප පරිගණක මගින් විශ්ලේෂණය කොට එම සතුන්ගේ සජීවී හැඩයන් සහ ප්‍රමාණයන් සේම ඔවුනට ආවේනික අංග ලක්ෂණද ඒ අයුරින්ම නිරූපනය කරමින් මෙම ස්මාරකය ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. ඒ අතර එහි ස්ථාපිත කරන ඵලකය මඟින් සත්ව අවිහිංසාව පිළිබඳ පණිවිඩය මුළු රටටම ලබා දීමට අපේක්ෂා කෙරේ.

(යෝජිත ස්මාරකයේ සැලැස්ම – ඉදිරිපස පෙනුම)

පාදෙණියේ සිට අනුරාධපුරය දක්වා වැටී ගත් ‘රාජධානි පිවිසුම’ මාර්ගයේ ගල්ගමුව නගරය පසුකොට මඳදුරක් යන විට හමුවන අමුණුකොළේ හන්දියෙන් හැරී කිලෝමීටර් තුනක් පමණ ගිය විට දැකිය හැකි. උස්ගල සියඹලන්ගමුව ජලාශය සදාහරිත තුරු ලතාවන්ට මැදිවූ සුවිසල් දියවරකි. මෙහි හාත්පස ඇත්තේ ද සුවදායි සෞම්‍ය පරිසරයකි. ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපයන්හි දැකිය හැකි ක්‍ෂිරපායී, පක්ෂි, උරග, මතෂ්‍ය සහ සමනල විශේෂයන් බොහොමයක් මෙහි දී නිරීක්ෂණය කළ හැක.

ගල්ගමුව ප්‍රදේශයේ ගැවසෙන වන අලින්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම ජලාශය ආශ්‍රිතව ගැවසෙනු බොහෝවිට හිමිදිරි සහ සන්ධ්‍යා යාමයන් හි දැකගත හැකිය. මෙය සත්ව ලෝලීන්ට සේම පරිසර ලෝලීන්ට ද කදිම අත්දැකීමක් ලද හැකි ජලාශ්‍රිත වනගත පරිසරයකි.

එබැවින් මෙම මාර්ගය ඔස්සේ අනුරාධපුරයට යන එන්නවුන් ඇතුළු බොහෝ දෙනෙකුට හෝරා කිහිපයක් නතරවී සදාහරිත වන පෙතක සහ නිල්වන් දියවරක සිසිලස එක්වර ආශ්වාදනය කරගන්නා අතරම සත්ව අවිහිංසාව පිළිබඳ පිවිතුරු පණිවිඩය හදවතට තුරුළු කර ගනිමින් නික්ම යා හැකි අන්දමට හාත්පස විවේක උද්‍යානයක් ද සහිතව මෙම ‘සත්ව අවිහිංසා පිළිරුව’ නිර්මාණය කිරීමට අදහස් කෙරෙන බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

මේ සඳහා දැනට ජාතික මට්ටමේ සංවිධාන කිහිපයක් සමගම සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ අනුව මෙම ස්මාරකය තැනීම සඳහා වැය වන මුදලින් කොටසක් පියවා ගත හැකි බවත් පවසන සොබාදමේ කැපකරුවෝ සංවිධානයේ සභාපති ක්‍රිශාන්ත නන්න්දසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ ඉන්පසුව මේ සඳහා තමන්ට හැකි අයුරින් දායකවීමට සත්ව ලෝලීන්, අවිහිංසාවාදීන් සහ පරිසර ලෝලීන් හට ද පොදු අවස්ථාවක් සලසා දෙන බවය.

1 thought on “දළ පූට්ටුවා ඇතුලු ඇතුන් වෙනුවෙන් ස්මාරකයක්

  1. ape minisunta wena weda nethi nisa hondayi laksa ganakata kanna netha yanna parak thotak netha bonna watura netha desapalakayo okkoma supiri kollakarayo NODOKIN ME KALAKANNI RATA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *