You are here
Home > ක්‍රීඩා-පුවත් > දිමුත්ගේ අපරාජිත ඉනිමෙන් ලංකාව පළමු ඉනිමේ 287

දිමුත්ගේ අපරාජිත ඉනිමෙන් ලංකාව පළමු ඉනිමේ 287

දිමුත් කරුණාරත්නගේ ලකුණු 158ක නොදැවුණු ඉනිම හා අවසන් කඩුලු සබඳතා දෙකෙන් ලබාගත් ලකුණු 111ත් ආධාරයෙන් ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ ආරම්භක දිනයේදී ලකුණු 287ක් රැස් කිරීමට සමත් විය.

පැය 6යි මිනිත්තු 5ක් කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 222කට මුහුණ දුන් අතර ඔහුගේ නොදැවුණු ඉනිම හතරේ පහර 13ක් සහ හයේ පහරකින් වර්ණවත් වී තිබිණි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට නොදැවී සිටි කරුණාරත්න එවැනි දක්ෂතාවක් ටෙස්ට් ඉනිමක වාර්තා කළ සිවුවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය. මීට පෙර සිදත් වෙත්තමුණි සිම්බාබ්වේට එරෙහිව 1983දීත්, මාවන් අතපත්තු නවසීලන්තයට එරෙහිව 1999දීත්, රසල් ආනෝල්ඩ් සිම්බාබ්වේට එරෙහිව 1999දීත් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට නොදැවී සිටීමට සමත්ව තිබේ.

කරුණාරත්න හා නායක සුරංග ලක්මාල් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක්ද, ඉන්පසුව කරුණාරත්න හා ලක්ෂාල් සඳකැන් 10 වැනි කඩුල්ල වෙනුවෙන් 63ක්ද වටිනා සබඳතා පිහිටුවමින් ශ්‍රී ලංකාව මේ සාර්ථක මුළු ලකුණු සංඛ්‍යාව කරා ගෙන ගියහ.

පළමු දින තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුල්ලක් අහිමි කරගෙන ලකුණු 4ක් ලබා ගෙන සිටියේය. දැවී ගිය පිතිකරුවා වූයේ ඒඩ්න් මාක්‍රම් (0) ය.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ පන්දු ප්‍රහාරය ආරම්භ කළේ රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරාගේ දඟ පන්දුවෙනි. එහි ප්‍රතිඵල තෙවැනි ඕවරයේදීම ලබා දෙමින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවෙන් කඩුල්ලක් උදුරා ගත්තේය. හේරත්ගේ පන්දුවට මාක්‍රම්ගේ පිත්තේ වැදී ආ පන්දුව ‘ස්ලිප්’හි සිටි ඇන්ජලෝ මැතිව්ස් අල්ලා ගත්තේ ඉතාමත් දක්ෂ උඩ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමිණි.

ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් තිදෙනෙකු (රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා හා ලක්ෂාන් සඳකැන්) හා එක වේග පන්දු යවන්නෙකු කණ්ඩායමට ඇතුළත් කර තිබූ අතර දකුණු අප්‍රිකාව අපේක්ෂා කෙරුණු පරිදි ම වේග පන්දු යවන්නන් තිදෙනෙක් හා දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් යොදවා තිබිණි.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමෙන් පසුව ධනුෂ්ක ගුණතිලක හා දිමුත් කරුණාරත්න ඕවර 10යි පන්දු 4ක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 44ක් රැස් කළහ. පළමු කඩුල්ල ලෙස ගුණතිලක, කගිසො රබාඩාගේ පන්දුවට කඩුලු රකින කුයින්ටන් ඩි කොක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 26කි. පන්දු 31කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක්ද එල්ල කළේය.

කරුණාරත්න හා ධනංජය ද සිල්වා (11)දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 10ක් ඇතුළත ලකුණු 26ක් එක් කරමින් සිටියදී ටබ්රයිස් ෂම්සිගේ දඟ පන්දුව පිට ඉන්නේ ගැටීමෙන් ධනංජය දැවී ගියේය.

දිවා ආහාරයෙන් පසුව 6 වැනි ඕවරයේදී ඩේල් ස්ටෙයින් විසින් කරුණාරත්න – මෙන්ඩිස් තෙවැනි කඩුල්ලේ සබඳතාව බිඳ දමමින් මෙන්ඩිස් දවාලනු ලැබීය. හතරේ පහර 3ක්ද එල්ල කළ මෙන්ඩිස් පන්දු 36කින් ලකුණු 24ක් රැස් කළේය. මෙන්ඩිස් හා කරුණාරත්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක් ඇතුළත ලකුණු 45ක් රැස් කළහ.

කගිසො රබාඩා ඔහුගේ දෙවැනි පන්දු යැවීමේ වාරයේ පළමු පන්දු තුනෙන් කඩුලු දෙකක්ම ලබා ගැනීමට සමත් වෙමින් ඇන්ජලෝ මැතිව්ස් (1) හා රොෂේන් සිල්වා (0) දවාලුවේය.

කරුණාරත්න හා නිරෝෂන් දික්වැල්ල 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65ක් ඇතුළත ලකුණු 42ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී වර්ෂාවේ තර්ජනය හමුවේ දික්වැල්ල ෂම්සිගේ පන්දුවට ‘ස්ලිප්’ ක්‍රීඩක හෂිම් අම්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 31කට මුහුණ දෙමින් දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 18ක් පමණි. දික්වැල්ල එක ලකුණක් පමණක් ලබා සිටියදී රබාඩාගේ පන්දුවට කඩුල්ල මුවා කළ බවට රොඩ් ටකර් පිටියේ තරග විනිසුරුවරයා තීරණය කළද දික්වැල්ල එම තීරණයට අභියෝග කිරීමෙන් පසුව තෙවැනි විනිසුරු එය කඩුල්ල මුවා කිරීමක් නොවන බවට තීන්දු කළේය.

ඩිල්රුවන් පෙරේරා මුහුණ දුන් පළමු පන්දුවටම (ෂම්සිගේ) කඩුල්ල මුවා කළ බවට පිටියේ තරග විනිසුරු තීරණය කළේය. ඩිල්රුවන් එම තීරණය තෙවැනි විනිසුරුට යොමු කළ අතර ඔහුගේ තීරණය වූයේ එය දැවී යාමක් නොවන බවය. එහෙත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඩිල්රුවන්ට නොහැකි විය. ඔහු සිවුවැනි පන්දුවට කඩුල්ල පිටුපසට උඩ පන්දුවක් දෙමින් එක ලකුණකට දැවී ගියේය.

මුළු ලකුණු 176ක්ව තිබියදී රංගන හේරත් (1) දුවද්දී දැවී ගියේය. ඉන්පසුව, 51 වැනි ඕවරයේ ෂම්සි එවූ තෙවැනි පන්දුවට දර්ශනීය හතරේ පහරක් එල්ල කරමින් දිමුත් කරුණාරත්න ඔහුගේ 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. මිනිත්තු 256යි පන්දු 159ක ඔහුගේ ශතක ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබිණි.

නව වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ කරුණාරත්න හා නායක සුරංග ලක්මාල් පන්දු 73ක් තිස්සේ 9 වැනි කඩුල්ල ආරක්ෂා කරමින් වටිනා ලකුණු 48ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ. ලකුණු 10ක් ලබාගත් ලක්මාල් පන්දු 40ක් ම කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය.

ලක්මාල් දැවී යාමෙන් පසුව කඩුල්ලට පිවිසි ලක්ෂාන් සඳකැන්ගෙන්ද ප්‍රදර්ශනය වූයේ අනපේක්ෂිත සුපිරි ඉනිමකි. ඔහු හතරේ පහර 3ක්ද එල්ල කරමින් ලකුණු 25ක් රැස් කළේ පන්දු 55ක් කඩුල්ලේ රැඳී සිටිමිනි. දිමුත් කරුණාරත්න ට නොමඳ සහායක් ලබා දුන් සඳකැන්, ෂම්සිගේ පන්දුවට ‘ස්ටම්ප්’ කිරීමකට හසුවීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවිය.

කරුණාරත්න හා සඳකැන් පන්දු 96ක් තිස්සේ ඔවුන්ගේ සබඳතාව ගෙන ගියහ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top