දිස්ත්‍රික්ක 9 ක නායයාමේ අවධානමක්

කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ත්‍රික්ක සදහා ඉදිරි පැය 24 ක කාලය වෙනුවෙන් නායයාම් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගෙවිගිය පැය 24 තුළදී මිලිමීටර් 75කට ආසන්න වැසි එම දිස්ත්‍රික්කවලට බලපා ඇති බැවින් මෙම අවධානම පවතින බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.
මෙම අනතුරු ඇඟවීම හෙට (21) සවස 3 දක්වා වලංගු වනවා.
කඳු ආශ්‍රිත ප්‍රදේශවල පොළව ඉරි තැලීමකට හෝ ගිලා බැසීමකට ලක්වනවා නම් හෝ ගස්, විදුලි කණු වැටවල් ක්‍රමයෙන් ඇලවී යනවා නම් හෝ එකවරම බොර ජල උල්පත් මතුවනවා නම් හෝ තිබෙන ජල උල්පත් ක්ෂණිකව නැති වී යනවා නම් වහාම එම ස්ථානවලින් ඉවත්වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙසද ජනතාවට දැනුම්දී තිබෙනවා.