දුම්රියේ අලි ගැටීම නවතන්න විශේෂ නිරීක්ෂණයක්

දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගය ආශ්‍රීතව යොදවා තිබෙනවා.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා පත් කරන ලද කමිටුව මගින් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර් ඒ සුමනසේන මහතාගේ නායකත්වයෙන් හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම නිරීක්ෂණ සදහා එක්ව සිටිනවා.
ලබන 14 වෙනි දින දක්වා දින 04 ක් දිනපතා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව ,අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ග වල මෙම නිරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
මෙම නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දුම්රිය අලී ගැටීම් වැළැක්වීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන සැළැස්මක් සැකසීම විද්වත් කමිටුවක් විසින් දින 05 ක් ඇතුලත සිදු කිරීමට නියමිත අතර එම කමිටු වාර්තාව සහ සැළැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ඇස්තමේන්තුවද ඔක්තෝම්බර් මස 25 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට භාරදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තමා විසින් එම වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මේ මස අවසන් වීමට පෙර එම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේ.