දුම්රිය වර්ජනය දිග්ගැස්සෙයි / තවත් සංගම් එක්වෙයි

දුම්රිය රියැදුරන් විසින් ආරම්භ කර ඇති දුම්රිය වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය නියාමකවරු සහ දුම්රිය පාලකවරුද ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට එක්ව සිටිනවා.
දුම්රිය රියැදුරන් සහායකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළකරමින් දුම්රිය රියැදුරන් විසින් පෙරේදා (6) මධ්‍යම රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කළ අතර එම අවස්ථාවේදී සෙසු දුම්රිය වෘත්තීය සමිති එම වර්ජනයට සහාය දැක්වූයේ නැහැ. ඉන්පසු වැටුප් විෂමතාවත් නොවිසදීම යන නව ඉල්ලීමක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු තවත් දුම්රිය වෘත්තීය සමිති 3ක් ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට එම වර්ජනයට එක්වුණා.
අදාළ වැටුප් විෂමතාව මුල්කරගනිමින් පසුගිය නොවැම්බර් මාසයේදීද දුම්රිය රියැදුරන් ඇතුළු ප්‍රධාන දුම්රිය සමිති 4ක් වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එහිදී අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා මැදිහත්වී සාකච්ඡාවක් ලබාදෙමින් අදාළ වැටුප් විෂමතාව විසඳාදෙන බවට එකඟතාවක් දුම්රිය වෘත්තිය සමිති වෙත ලබාදී තිබුණි.
සති දෙකක් ඇතුළත අදාළ වැටුප් විෂමතාව විසඳාදෙන බවට අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා ‍පොරොන්දු වූවත් ඊයේ (7) දිනය වන විට එම සති දෙක ඉකුත්ව ගියත් සිය වැටුප් විෂමතාව විසඳා නොදීම නිසා දුම්රිය රියැදුරන්ගේ මෙම වර්ජනයට සමගාමීව මෙලෙස ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන්ද දුම්රිය ධාවනයෙන් ඉවත්වී තිඛෙනවා.
දුම්රිය රියැදුරන් පෙරේදා (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය නිසා ඊයේ (7) උදෑසන සහ පස්වරුවේ දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්වුණා.
සාමාන්‍ය දිනකට දුම්රියයන් 350ක් පමණ ධාවනය වන අතර වර්ජනය නිසා එය දුම්රිය 58කට පමණ සීමා වීම මගීන් දැඩිව පීඩාවට පත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *