දේශපාලන ක්‍රමයේ බරපතල බිදවැටීමක් / වික්ටර් අයිවන්

රාජ්‍යයේ බිඳ වැටීමේ ක්‍රියාවලිය වේගවත් වෙමින් අරාජකත්වයක් කරා යන ගමන වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබෙන්නේ යැයි කිව හැකිය.
මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම හුවා දක්වමින් ආණ්ඩුව දීර්ඝ කාලයක් පළාත් පාලන ඡන්ද නොපවත්වා සිටියේය. බොහෝ ප්‍රමාද වී පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කළේද, පළාත් පාලන ආයතන ක්‍රමය අවුල් ජාලාවකට තල්ලු කිරීමට හේතුවන ආකාරයකටය. එම නීති සම්පාදනය අවසන් වනවිට ඡන්ද නොපවත්වා සිටි කාලය දීර්ඝවීම නිසාත්, මුළු රටේම එකවිට ඡන්ද පවත්වන ක්‍රමයක් ආණ්ඩුවට වාසිදායක වනු ඇතැයි ආණ්ඩුවේ විශ්වාසය වූ නිසාත්, මුළු රටේම පළාත් පාලන ඡන්ද එක දිනයක පවත්වනු ලැබීය. එහෙත් ප්‍රතිඵල ආණ්ඩුවේ බල කණ්ඩායම් දෙකේම වාසියට හේතු නොවූ අතර, රාජපක්ෂ පිලට ලොකු ජයග්‍රහණයක් ලැබීමෙන් නොනැවතී යහපාලන ආණ්ඩුවට රට පාලනය කිරීමට තිබුණු සදාචාරමය අයිතිය අහිමි කරගනිමින් රට අරාජිකත්වය කරා යන ගමන වේගවත් කොට එය මහජනතාවට පෙනෙන දෙයක් බවටද පත් කළේය.

ඉන්පසු පැවැත්වෙන පළාත් සභා ඡන්දයකට මුහුණදීමේ ආත්ම විශ්වාසයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන දෙපිලටම නොතිබුණේය. එම පළාත් සභා ඡන්දය තවදුරටත් කල්මරන හා මගහරින ක්‍රමයක් ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණු අතර මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හැදීමේ වැඩසටහනකට මුවාවී අවසානයේ ඒ සඳහා ආණ්ඩුව විසින්ම සකස් කළ පනත විරුද්ධ පක්ෂයද හවුල් කරගනිමින් ආණ්ඩුව විසින්ම පරාජය කිරීම මගින් පළාත් සභා ඡන්ද නොපවත්වා සිටීමේ අරමුණ ඉතාමත් සටකපට ආකාරයකින් ජයගත්තේය. අගමැතිවරයාගේ එම වැඩසටහන ඒකාබද්ධ විරුද්ධ පක්ෂය තේරුම් ගත් බව පෙනෙන්නේ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා ක්‍රියාවට නගන වැඩසටහනක් ලෙසය.

ප්‍රජාතන්ත්‍රවාදය සමග සෙල්ලම් කිරීම

ඒ මගින් අලුත් පළාත් සභා ඡන්ද නීතිය පමණක් නොව පරණ පළාත් සභා ඡන්ද නීතියද අවලංගු කර ඇති බැවින් දැන් අලුත් නීතියක් සකස් කරගෙන එය නීතිගත කරගන්නා තෙක් පරණ නීතිය නැවත නීතිගත කොට වලංගු කරගන්නා තෙක් හෝ අලුත් නීතියක් සකසා ගෙන එය කරගන්නා තෙක් පළාත් සභා පැවැත්වීමේ ඇත්ත හැකියාවක් නැත. ඒ තත්ත්වය ඉදිරියේ අධිකරණයට වුවද ගතහැකි ක්‍රියාමාර්ගයක් නැත. ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණද තමන් රවටනු ලැබූ බව තේරුම් ගන්නට ඇත්තේ වැඬේ අවසන් වූවාට පසුවය.

සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පනතක් පරාජය කරනු ලැබූ අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. 1964 ශ්‍රී ලංකා – සමසමාජ සභාග ආණ්ඩුව ඉදිරියට ගෙනා පත්තර පනත පරාජය කෙරුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට සිදුවිය. එය මුදල් පනතක් නොවීය. එහෙත් ආණ්ඩුව විසුරුවා හැරීමකට යනවා තබා අඩුම වශයෙන් පනත ඉදිරිපත් කළ ඇමතිවරයාවත් ඇමතිකමෙන් ඉල්ලා අස්වූයේ නැත. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් බිඳ වැටී තිබෙන තරම හා එම සම්ප්‍රදායන් සමාජයට අමතක වී තිබෙන තරම ඉන් තේරුම් ගත හැකිය.
යහපාලන ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුවට වඩා බාහිර පෙනුමෙන් දරදඬු නොවන ලිහිල් ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි වුවද මැතිවරණ විෂයෙහි සිදුවන උරගා බැලීම්වලට කැමති නැති මැතිවරණවලට මුහුණදීමේ ආත්ම විශ්වාසයක් ඇත්තේම නැති ආණ්ඩුවක් ලෙස සැලකිය හැකිය. මැතිවරණ සමග සෙල්ලම් කරන්නට යාම ඉතාමත් භයානකය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ විවිධ මට්ටම්වලින් පැවැත්වෙන මැතිවරණ බලයේ සිටින ආණ්ඩුවට හා විරුද්ධ පක්ෂවලට මහජනයා අතර තිබෙන පිළිගැනීමේ ප්‍රමාණය උරගා බැලෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර මැතිවරණ නිසි කලට නොපැවැත්වීමෙන් හෝ කල් දැමීමෙන් විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසයේ බිඳ වැටීමක් ඇතිවී ප්‍රජාතන්ත්‍රවාදී නොවන සටන් ක්‍රමවලට විරුද්ධ පක්ෂ ව්‍යාපාර තල්ලුවීමය. ඒකාබද්ධ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය දියත් කරනු ලැබූ 5 වැනිදා කොළඹ නගරයට ආධාරකරුවන් කැඳවීමේ වැඩසටහනද එහිම තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

සිය දේශපාලන අනුගාමිකයන් කොළඹ නගරයට ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය ගනු ලැබූ තීරණය කෙරෙහි පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම බලපාන්නට ඇතැයි සිතිය හැකිය. සිය දේශපාලන අනුගාමිකයන් කොළඹ නගරයට කැඳවන වැඩසටහනකින් ආණ්ඩු බලය අල්ලා ගැනීමේ හැකියාවක් නැතත්, එම ක්‍රියාමාර්ගය දේශපාලන තලයේ තිබෙන අවුල්සහගත තත්ත්වය උග්‍ර කිරීමට හේතුවෙයි.
ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි එම පාලනය විසින් පවත්වාගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් හා විශේෂයෙන්ම විරුද්ධ පක්ෂ ව්‍යාපාර මර්දනය කිරීමේලා ක්‍රියාවට නගන ලද ක්‍රියාමාර්ගයන්ද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. ජේ.ආර්. ජයවර්ධන ප්‍රධාන විරුද්ධ පක්ෂය සම්බන්ධයෙන් අනුගමනය කළේ ඉතාමත් සාහසික ප්‍රතිපත්තියකි. අභියාචනාධිකරණය දෙන ලද තීන්දුවද නොසලකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළා පමණක් නොව, ශ්‍රීලනි පක්ෂ මූලස්ථානයද අනියම් ලෙස අල්ලා ගත්තේය. 83 කළු ජූලියද අපේක්ෂා කළ තරමට වඩා දුරදිග ගිය දෙයක් බවට පත්වුවද ආණ්ඩුවේ අනුදැනීම ඇතිව ආරම්භ කෙරුණු සාහසික ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැකිය. කළු ජූලිය මුවාවක් කරගනිමින් ජවිපෙ තහනම් කොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වී සිටි එම පක්ෂය කැලෑවට තල්ලු කෙරුවා පමණක් නොව පාර්ලිමේන්තුවට තේරී පත්වූ දෙමළ නියෝජිතයන්ගේ මන්ත්‍රීකම අහිමි කොට දෙමළ ප්‍රචණ්ඩ වැඩසටහනක් සඳහා ශක්තිමත් පදනමක් සාදා දුන්නේය.
යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලින් සිදුවනු ඇත්තේද ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන පිළිගැනීම නැතිභංගවීමය.

මහින්දට පුළුවන්ද?

19 වැනි සංශෝධනය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඊළඟ ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් තිබෙන බව සමහර ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය වී තිබේ. ව්‍යවස්ථා විශාරදයකු ලෙස සැලකිය හැකි නිහාල් ජයවික්‍රම ඒ ගැන පළකර තිබෙන අදහස් මෙසේ සාරංශ ගත කළ හැකිය.
19 වැනි සංශෝධනයේ එන දෙවරක් ජනාධිපති ධුරයට පත්වූ අයකුට නැවතත් එම ධුරය දැරිය නොහැකිය යන සීමා කිරීම බලපාන්නේ 19 වැනි සංශෝධනය විසින් ඇති කරන ලද ජනාධිපති ධුරයට මිස කලින් පැවති ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුව තේරී පත්වුණ ජනාධිපතිවරුන්ට නොවේ. කලින් සිටි ජනාධිපතිවරයා හා 19න් ඇති කර තිබෙන ජනාධිපතිවරයා එක සමාන නැත. තිබෙන බලතල හා කාර්යයන් වශයෙන් ගත් කල ජනාධිපතිවරුන් දෙදෙනා අතර තිබෙන වෙනස අතිවිශාලය. එය 33 වැනි වගන්තියෙන් ඇති කර තිබෙන තත්ත්වයකි. ජනාධිපතිවරයා සතුව තිබෙන බොහෝ බලතල අගමැතිවරයාට පැවරෙන ලෙස ඪසසස වන පරිච්ඡේදයද අවලංගු කොට ඊට නව පරිච්ඡේදයක් ඇතුළත් කර තිබේ. නව ජනාධිපතිවරයාට අගමැති වෙනස් කළ නොහැකිය. ඇමති මණ්ඩලය වෙනස් කිරීමටද බැරිය. විවිධ පත්කිරීම් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සතුව තිබුණු බලතල ඉවත් කර තිබෙන අතර ඔහු එහිදී කටයුතු කළයුතුවන්නේ ව්‍යවස්ථා සභාවේ උපදෙස්වලට අනුකූලවය. නව සංශෝධනය අනුව ඔහුට පත් කළ හැක්කේ තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා පළාත් ආණ්ඩුකාරවරුන් පමණය. පාර්ලිමේන්තුවේ නිල කාලයෙන් අවුරුදු හතරහමාර පසුවන තෙක් පාර්ලිමේන්තුවද විසුරුවා හැරීමේ බලයද ජනාධිපතිට නැත. ඊට වෙනස්ව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඉල්ලීම මත පමණය. ජනාධිපතිවරයාට හිමිව තිබූ මුක්තියද දැන් ඔහුට හිමි නැත. ඔහු විධායක බලතල බොහෝ දුරට අහිමි කරනු ලැබූ නාමමාත්‍රික ජනාධිපතිවරයකුට සමානය.

එනිසා 19 වැනි ව්‍යවස්ථාවෙන් ඇතිවී තිබෙන ව්‍යවස්ථාව පරණ ව්‍යවස්ථාව නොව අලුත් ව්‍යවස්ථාවකි. එය එම ව්‍යවස්ථා සංශෝධනයේදී පැහැදිලිව සඳහන් වේ. 2015 මැයි 15 වැනිදා සිට අලුත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වේ. දෙවරක් ජනාධිපති ධුරයට තේරී පත්වූ අයකුට නැවත එම ධුරය දැරිය නොහැකි බවට 19 වැනි සංශෝධනයේ එන සීමාකිරීම බලපාන්නේ 19 වැනි සංශෝධනය විසින් ඇති කර තිබෙන ජනාධිපතිවරුන්ට මිස කලින් පැවති ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට නොවේ. සීමාකිරීම ආපස්සට ක්‍රියාත්මක වන බවක් 19 වැනි සංශෝධනයේ සංක්‍රාන්ති විධිවිධානවල කොතැනකවත් සඳහන්වන්නේ නැත. 19 වැනි සංශෝධනයෙන් ඇති කර තිබෙන සීමා කිරීම එම සංශෝධනයට පෙර දෙවරක් තේරී පත්වූ ජනාධිපතිවරුන්ට බලපාන්නේද නැත.

විය හැක්කේ කුමක්ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විස්සයි විස්සේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට නෛතික බාධාවක් නැත්තේය කියන අදහස සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන මෙම නෛතික තර්කයේ වලංගුභාවය අවසාන වශයෙන් තීන්දු කරනු ඇත්තේ අධිකරණය විසිනි. කොහොමටත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාමය අර්ථයෙන් තියුණු ලෙස කරුණු සලකා බලා සකස් කර තිබෙන ප්‍රශස්ථ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය නොහැකිය. එය කරළියට ගෙනා මුල්ම අවස්ථාවේ සිටම මගේ මතය වූයේ එය සමස්ත ආණ්ඩුක්‍රමයම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවන මනා නිමාවක් හෝ ඒකාග්‍රතාවක් නැති ව්‍යවස්ථා සංශෝධනයක් වන බවය. එය සැබෑ ජාතික අවශ්‍යතාවන් නොසලකා සැඟවුණු පටු දේශපාලන අභිලාෂයන් සඳහා හොඳින් කරුණු සලකා බැලීමකින් තොරව දඩිබිඩියේ කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. මෙම ව්‍යවස්ථා සම්පාදනයේ නිර්මාතෘවරයා ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි තියුණු අත්දැකීම් ඇති පරිණත පුද්ගලයකු නොවූවද ඔහු ව්‍යවස්ථා සම්පාදන විෂයට ලංකාවට සිටින ලොකුම විශාරදයා ලෙස බෞතිස්ම කරන ලද්දේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය විසිනි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දේශපාලන ගර්භාෂය ලෙස ක්‍රියා කළේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයයි. ජනාධිපති ආණ්ඩුක්‍රමය 78 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සරල සංශෝධනයක් මගින් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් බවට පත්කළ හැකිය යන විකාර අදහස මෙම පුද්ගලයා විසින් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට ඉදිරිපත් කරන ලදුව එම අදහස පිළිගත් එම ව්‍යාපාරය ඒ අදහස ගැඹුරු සලකා බැලීමකටවත් ලක් නොකොට සමාජගත කළේය.

ඒ මගින් එම විකාර අදහස ඉදිරිපත් කළ න්‍යායවාදියා ලොකු දේශපාලන වටිනාකමක් හිමිකරගත් පුද්ගලයකු බවට පත්වූ අතර අවසාන මොහොතේ එජාපයට බල්ටියක් ගසා ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයකු බවට පත්වන්නට සමත් වූවා පමණක් නොව ඒ මගින් යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි ඒකාධිකාරී බලය හිමිකරගත් ප්‍රධාන න්‍යායවාදියා බවට පත්වීමටද සමත් වූයේය. මෙම න්‍යායවාදියාගේ දේශපාලන බල්ටි ගැසිල්ල දෙස සෝභිත හිමියෝ බලා සිටි බව කියන්නේ මහත් කම්පාවකින් යුතුවය. මෙම න්‍යායවාදියා රටේ ඇතිවී තිබෙන කුණුවීම ආයුධයක් කොටගෙන එම කුණු කන්දේ මුදුනතට නැග ගත් පුද්ගලයකු සඳහා දිය හැකි හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. ඔහු චන්ද්‍රිකා පාලන කාලයේදී අධිකරණය කුණු කළ අගවිනිසුරුවරයා ලෙස සැලකිය හැකි සරත් නන්ද සිල්වාට සිටි විශ්වාසවන්තම සගයකු ලෙසද සැලකිය හැකිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්නකු ලෙස එන්න හදන තත්ත්වය තුළ ඒ හැකියාව වැළකීම සඳහා උපරිම තත්ත්වයකින් ක්‍රියාකරන තැනකට ආණ්ඩුව තල්ලු වනු නොවැළැක්විය හැකිය. ජනාධිපතිවරණයට පෙර සිය දේශපාලන ප්‍රතිවාදියා හිරේ යවන මගක් හෝ ඔහුට ජනාධිපතිවරණයට තරග කිරීමට ඉඩ නොලැබෙන මගක් සොයා ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇති. ඒ අරමුණු දෙකෙන් කවර එකක් හෝ ආණ්ඩුවට සපුරා ගැනීමට හැකිවනු ඇත්තේ අධිකරණ සහාය තමන් වෙත නොමනා ලෙස හිමිකර ගැනීමට සමත් වෙතොත් පමණය.

අධිකරණ අපහාසය

රටේ අධිකරණය තිබෙන්නේද ශක්තිමත්, මහජන විශ්වාසයට හේතුවන හා ස්වාධීනව ක්‍රියාකරන තත්ත්වයක නොව අවුල්සහගත තත්ත්වයකය. රාජ්‍යයේ අන් සියලු ආයතන ක්‍රම සේ ම අධිකරණයද තිබෙන්නේ කඩා හැලෙමින් පවතින තත්ත්වයකය. ආණ්ඩුවේ විශ්වාසයට සේ ම අවිශ්වාසයට හේතුවූ විනිසුරුවරුන් සිටිනවා සේ ම විරුද්ධ පක්ෂයේ විශ්වාසයට සේ ම අවිශ්වාසයටද හේතුවූ විනිසුරුවරු සිටිති. ඒ නිසා බැලූ බැල්මට පෙනෙන්නේ අධිකරණය තුළද දේශපාලන බෙදීමක් තිබෙන බවය.

අධිකරණය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත අධිකරණ අපහාස නඩු තවත් හතරක් ඇති අතර ඉන් එකක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රන්ජන් රාමනායකට එරෙහිවය. දෙවැන්න හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන උතුරු පළාතේ මහ ඇමති සී. විග්නේෂ්වරන්ට එරෙහිවය. ඉතිරි දෙක නීති වෘත්තිකයන් වන නාගානන්ද කොඩිතුවක්කු හා සුගන්ධිකා ප්‍රනාන්දුට එරෙහිවය.
උසාවි අපහාස වැරදිවලදී ක්‍රියාකිරීමට විධිමත් අර්ථ විවරණයක් සහිත පනතක් ලංකාවට නැත. ඒ නිසා උසාවි අපහාසයකදී හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ බලයක් අධිකරණයට ලැබී ඇතැයි කිව හැකිය. ලංකාවේ විනිශ්චයකාරවරුන් ඒ බලය වැරදි ලෙස පාවිච්චි කළ අවස්ථාද දක්නට තිබුණි.

උසාවියේ බුලත්විට සපමින් සිටි ගැමියකුට මාස හයක සිරදඬුවමක් දීමේ සිද්ධියක් මීට වසර කිහිපයකට ඉහතදී අසන්නට ලැබුණි. උසාවියට නොගැළපෙන ඇඳුමක් ඇඳගෙන නොපැමිණියේය කියන කාන්තාවක් රිමාන්ඞ් කිරීමේ සිද්ධියක්ද මීට පෙර වාර්තා වී තිබුණි. එම සිද්ධීන් දෙකේදීම අවවාද කිරීමකට වැඩි දෙයක් කිරීම සාධාරණ නොවේ යැයි කිව හැකිය. පළමු සිද්ධියේදී සිරදඬුවම් කළ පුද්ගලයා උසාවි කටයුතු පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ගැමියෙකි. දෙවැනි සිද්ධියේදී රිමාන්ඞ් කරන ලද කාන්තාව පොළක වෙළෙඳාමේ යෙදෙන කාන්තාවකි. අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සරත් නන්ද සිල්වා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ටෝනි එම්මානුවෙල් සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුවද නීතියට සේ ම යුක්තියටද පටහැනි තීන්දුවක් ලෙස සැලකිය හැකිය. ටෝනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවරා තිබුණේ අධිකරණ සේවා කොමිසමට එරෙහිවය. එය විභාගයට ගෙන තිබුණේ අධිකරණ සේවා කොමිසමේ සභාපති ලෙස ක්‍රියා කරන අගවිනිසුරුද ඇතුළත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. තමන්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි ටෝනි තර්ක කළේ අධිකරණ සේවා කොමිසමට එරෙහිව පවරන ලද තමන්ගේ නඩුව අධිකරණ සේවා කොමිසමේ සභාපති ලෙස ක්‍රියාකරන අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගැනීම ස්වභාවික යුක්තියට සේ ම නීතියටද පටහැනි බවය. ටෝනිට එරෙහිව එක් අවුරුදු සිරදඬුවමක් පමුණුවන ලද්දේ ඔහු අධිකරණයට කිසිදු අපහාසයක් කළ නිසා නොව ඔහු පළ කළ සාධාරණ හා නීතියට අනුකූල විරෝධය නිසාය. එස්.බී. දිසානායක සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු ප්‍රතිපත්තිය සාධාරණ වේ යැයි කිව නොහැකිය.
වර්තමාන අධිකරණය උසාවි අපහාස වරදක් ලෙස සලකනුයේ අධිකරණයේ කාර්යයන්ට බාධා කිරීම, උසාවි නියෝගවලට අවනත නොවීම, උසාවි නියෝග ක්‍රියාත්මක කිරීමට බාධා කිරීම වැනි කාරණාය. අධිකරණය විවේචනය කිරීම උසාවි අපහාස වරදක් ලෙස සලකන්නේම නැති තරම්ය. අධිකරණය සාධාරණ ලෙස විවේචනය කිරීමේ අයිතියක් මහජනයාට ඇති බව ප්‍රකාශ කරන නඩු තීන්දුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබේ. අධිකරණය විවේචනය කරන්නන් එසේ කළයුත්තේ සාධාරණ කරුණු මත පිහිටා නිසි සංයමයකින් යුතුවය. ඒ රාමුව තුළ පිහිටා කරන කවර තරම් සැර විවේචනයක් වුවද අධිකරණයට කෙරෙන අපහාසයක් ලෙස සලකා දඬුවම් කිරීමේ බලයක් අධිකරණයට නැත. ලංකාවේ අධිකරණයේ ක්‍රිියාකාරීත්වය මුළු එකක් වශයෙන් ගත්විට යහපත් හෝ ප්‍රශස්ත මට්ටමක නොපවතී. ලංකාවට හොඳ ස්වාධීන අධිකරණයක් තිබුණේ නම් ලංකාවේ තත්ත්වය මේ තරම් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි.

අධිකරණය කොයිබටද?

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන් කරපු වරදේ බරපතළකම දැන හෝ නොදැන අධිකරණ ක්‍රියාදාමයකට බරපතළ ලෙස බාධා කළහ. ඒ වරද ගිහියකු කිරීමට වඩා පැවිද්දකු කිරීම වඩා බරපතළය. ඒ හැසිරීමට දඬුවම් කළ යුතුව තිබුණි. එසේ නොකළේ නම් අන්තවාදී ආකල්ප සහිත භික්ෂූන් වහන්සේලා කරන එවැනි මැදිහත්වීම් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් මේ තරම් බරපතළ දඬුවමක් දෙනවා වෙනුවට භික්ෂූන් වහන්සේ කෙනකු වශයෙන් කරන ලද වරදේ බරපතළකම හොඳ විග්‍රහයක් කරමින් දෙන ලද සිරදඬුවමට වඩා සුළු සිරදඬුවමක් පමුණුවමින් දීර්ඝ කාලයකට බලපාන ලෙස අත්හිටවූ සිරදඬුවමක් දුන්නේ නම් එය සමාජය කෙරෙහි ඇති කරන බලපෑම වඩා යහපත් වන්නට තිබුණි.

දැන් කරන දේවල හොඳ නරක කුමක් වුවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේෂ්වරන් අධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් ක්‍රියාකරන කාලවකවානුවේදී යහපත් හා ස්වාධීන පැවැත්මක් පෙන්වා තිබෙන පුද්ගලයකු බව කිව යුතුය. එහෙත් උසාවිය දෙන ලද නියෝගයකට අවනතව ක්‍රියා නොකිරීමෙන් ඔහු කර තිබෙන්නේද දඬුවම් ලැබිය හැකි වරදකි. විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් අධිකරණ නියෝගයක් පැහැර හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔහු දැන සිටිය යුතුව තිබුණි. එම නියෝගයේ යම් අසාධාරණකමක් තිබුණේ නම් කළ යුතුව තිබෙනුයේ අධිකරණ නියෝගය නොසලකා ක්‍රියාකරනවා වෙනුවට එම නියෝගයට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමය.

ඒ හැර රංජන් රාමනායක, නාගානන්ද කොඩිතුවක්කු හා සුගන්ධිකා ප්‍රනාන්දු යන අයගේ ක්‍රියා බරපතළ දඬුවම් ලැබිය හැකි ක්‍රියා ලෙස සැලකිය නොහැකිය. මහජන මන්ත්‍රීවරුන් අධිකරණයේ කටයුතු සිදුවන ආකාරය ගැන පරීක්ෂාවෙන් සිටිය යුතුය. ලංකාවේ ව්‍යවස්ථාදායකයට අධිකරණයේ ක්‍රියාකාරීත්වය ගැන විවේචනාත්මක යහපත් දැක්මක් තිබුණේ නම් අධිකරණයේ පීලිපැනීම් පාලනය කරගත හැකිවන්නට තිබුණි. කොඩිතුවක්කු හා සුගන්ධිකාගේ විවේචන අධිකරණයට සීමාවී නැති අතර ලංකාවේ නීතිඥ ප්‍රජාවගේ හැසිරීමද ඔවුන්ගේ විවේචනයට ලක්වී තිබේ. ඔවුන් කරන විවේචනවල ගොරෝසු පෙනුමක් පෙනෙන්නට තිබුණත්, ලංකාවේ නීතිඥ ප්‍රජාව පවත්වාගෙන යන නිශ්ශබ්දතාව අවසන් කිරීමට හේතුවන විවේචකයන් කිහිපදෙනකු හෝ නීතිඥයන් අතරින් පහළවීම සැලකිය හැක්කේ යහපත් දෙයක් ලෙසය. අධිකරණය ඉදිරියේ ඇති අධිකරණ අපහාස නඩු කිහිපය හොඳින් කළමනාකරණය කරගන්නට අධිකරණය අසමත්වෙතොත්, එය අධිකරණයේ තිබෙන අවුල්සහගත තත්ත්වය උග්‍ර කිරීමට හේතුවිය හැකිය. ඒ සමග නොකඩවා උග්‍රවෙමින් තිබෙන රටේ අර්බුදය හා ඒ ආශ්‍රයෙන් වර්ධනයවෙමින් තිබෙන අරාජකත්වය වැඩියෙන්ම බලපාන ආයතන ක්‍රමය වනු ඇත්තේද අධිකරණයයි. ඇතිවන්නට නියමිත පුපුරනසුලු අවුල් වැඩි හරියකට තීන්දු හෝ අර්ථකථන දෙන්නට සිදුවනු ඇත්තේ අධිකරණයටය. ඒ නිසා දේශපාලන බලපොරයේ සිටින කණ්ඩායමේ අධිකරණය සිය ග්‍රහණයට නතුකර ගැනීම සඳහා වෙර දරන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. අධිකරණයේ සිටින නිසි ශික්ෂණයක් හෝ පරිචයක් නැති විනිසුරුවරුන් මේ පොරයේ කොටස්කරුවන් බවට පත්වීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් දැන් පෙනෙන තත්ත්වයටත් වඩා අධිකරණයද දේශපාලන වශයෙන් පිල් බෙදුණු අධිකරණයක් ලෙස මහජනයාට පෙනෙන තත්ත්වයක් ඇතිවිය හැකිය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් තිබුණද උසස්වීම්වලදී දේශපාලන පක්ෂපාතීත්වය තවමත් වැදගත් ලීවරයක් ලෙස ක්‍රියාකරමින් පවතී.

නව අගවිනිසුරුවරයෙක් තෝරාගැනීමේ ප්‍රශ්නය අධිකරණයේ තිබෙන අවුල්සහගත තත්ත්වය උග්‍ර කිරීමට හේතුවනු ඇත. සිටින අගවිනිසුරුවරයා ඔක්තෝබර්වලදී විශ්‍රාම ගැනීමට නියමිතය. මේ තීරණාත්මක මොහොතේදී තමන්ට පක්ෂපාත අගවිනිසුරුවරයෙක් කරළියට ගැනීමට ආණ්ඩුව උපරිම ශක්තිය යොදා ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය. ව්‍යවස්ථා සභාවද එවැනි අර්බුදයකදී යුක්තිය ඉටුකිරීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. එම තත්ත්වය අධිකරණය ලොකු අර්බුදයකට තල්ලු කිරීමට හේතුවිය හැකිය. එම තත්ත්වය අධිකරණයේ තිබෙන අවුල්සහගත තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතුවනු ඇති අතර පෙරළා රටේ ඉදිරියට ඇදීයමින් තිබෙන අර්බුදය උග්‍ර කිරීමට හේතුවී අරාජකත්වයක් කරා යන ගමනද වේගවත් කිරීමට හේතුවනු ඇත.

වික්ටර් අයිවන් – Ravaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *