නව කෝප් වාර්තාවෙන් රාජ්‍ය ආයතන 15 ක සෙල්ලම් එළියට

රාජ්‍ය ආයතන පහළොවක සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා  සහ ඉහළ නිළධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදුකළ විමර්ශන ඇතුළත් නවතම කෝප් වර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා විසින්.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව , ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , සී/ස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම , සමුපකාර තොග වෙළඳ සංස්ථාව ,මධ්‍යම පරිසර අධිකාරිය ,මහජන බැංකුව , ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව , ජාතික ලොතරයි මණ්ඩලය , ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, සී/ස ඛනිජ වැලි සමාගම , භු විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය , සීමාසමිත හිගුරාන සීනී කර්මානත්තායතනය , ලංකා ධීවර සංස්ථාව , ස්වාධීන රුපවාහිනි සේවය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන පිළිබඳව මෙම විමර්ශන වාර්තානව මගින් අනාවරණ කර තිඛෙනවා.

රජයේ බැංකුවක්‌ විසින් පෞද්ගලික හෝටලයකට නිකුත් කළ රුපියල් කෝටි 10ක ණය මුදලකට අදාළ පොලිය ලෙස රුපියල් හැත්තෑතුන් ලක්‍ෂ අසූදෙදහසක (රු. 7582,000) මුදලක්‌ 2014 පෙබරවාරි 28දා ගෙවා තිබෙන්නේ ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසිනි. අධිකාරියට අයත් නිවාඩු නිකේතනයක කාමර තිහක්‌ අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් දෙකෝටි අනූ එක්‌ ලක්‍ෂයක්‌ (රු. 29,100,000) ගෙවා ඇත. එම මුදලින් රුපියල් එක්‌කෝටි දශලක්‍ෂයක්‌ ගෙවා ඇත්තේ නොකළ වැඩකොටසක්‌ වෙනුවෙන් බව අනාවරණය වී ඇත.

කල්පිටිය පාරක්‌ ඉදිකිරීමට ගල් සහ බොරළු පස්‌ කියුබ් සඳහා රුපියල් කෝටියකට අධික මුදලක්‌ ගෙවා ඇත. එහෙත් එම ද්‍රව්‍ය භෞතිකව භාරගත් බවට සාක්‍ෂි හමුවී නැත. කල්පිටියේ කාමර හාරදහසක සංචාරක නිකේතනයක්‌ ඉදිකිරීම සඳහා රුපියල් අටකෝටි අසූහත් ලක්‍ෂයක්‌ (රු. 88,000,000) වැය කර ඇතත් 2014.12.31 දින වනවිට ඉන් එකම කාමරයක්‌වත් නිමකර නැති බවද හෙළිවී තිබේ.

මත්තල ගුවන්තොටුපළට අදාළ නිවාඩු නිකේතනයක්‌ ඉදිකිරීම සඳහා ඉඩමක්‌ මිලදී ගැනීමට පෞද්ගලික පාර්ශ්වයකට රුපියල් ලක්‍ෂ 70 ක්‌ දී ඇත. පසුව හෙළිවී ඇත්තේ එම ඉඩම රජයේ ඉඩමක්‌ බවයි. එහෙත් පෞද්ගලික පාර්ශ්වයට ලබාදුන් ලක්‍ෂ හැත්තෑවක මුදල ආපසු ලබාගෙන නැත. මෙය ඉතා වැරදි සහගත ගනුදෙනුවක්‌ බව කෝප් කමිටුව නිර්දේශකර ඇත.

බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් 2010 හා 2012 වසරවල කිසිදු තහවුරු කිරීමක්‌ කර නොගෙන රුපියල් දහතුන් කෝටි අනූඅට ලක්‍ෂයක්‌ (රු. 139,800,000) භාණ්‌ඩාගාර අරමුදල ලෙස ගෙවා ඇත.

සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාවට ලක්‌ සතොසෙන් 2013 වසරේදී රුපියල් විසිහත් කෝටි අනූ නව ලක්‍ෂයක (රු. 279,900,000) ණය මුදලක්‌ අයවිය යුතුව ඇතත් ඒ පිළිබඳ ලියවිලි කිසිවක්‌ හමුවී නැත.

2014 වසරේ කැරම් බෝඩ් 14,000ක්‌ සහ දාම් බෝඩ් 11,000ක්‌ මිලටගෙන රුපියල් තුන්කෝටි අනූදහසක්‌ සතොසට අලාභ කර ඇති අතර එම මුදල ගෙවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.

ආයුර්වේද ඖෂධ සංස්‌ථාවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට 2016.03.09දා පැමිණ ඇති භාණ්‌ඩාගාර නියෝජිතයාට සංස්‌ථා සේවක පිරිසක්‌ හිරිහැර කිරීම පිළිබඳවද කෝප් කමිටුව විමර්ශනය කර ඇත. එසේ චෝදනා ලද සංස්‌ථා සේවකයකු සභාපති ඇතුළු නිලධාරීන්ටද තර්ජනය කරන අයකු බව අනාවරණය වී ඇත.

අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව ඖෂධ සංස්‌ථාවට කොන්ත්‍රාත් පදනම මත 2015දී සේවකයන් 57ක්‌ බඳවාගෙන ඇත. ඊට අමතරව අලෙවි ප්‍රවර්ධන සහකාර කළමනාකාර තනතුරු තුනකට ස්‌ථිර පදනම යටතේ බඳවාගෙන ඇති අතර සිවිල් ඉංජිනේරු තනතුරක්‌ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව නිලධාරියකු බඳවාගෙන ඇත. ඔහුට මසකට රුපියල් 85,000 බැගින් දීමනා ලබාදී ඇත. ඔහු බඳවාගෙන තිබෙන්නේ ඇයෑදුම්පත් කැඳවා හෝ ලිත හෝ සම්මුඛ පරීක්‍ෂණයක්‌ නොමැතිවය.

රාජකාරි කටයුතු කරන අවස්‌ථාවන්හිදී සංස්‌ථා සභාපතිවරයා තමන්ට අවිනීත අසභ්‍ය වචනවලින් බැණවදින බවට ඖෂධ සංස්‌ථාවේ කාන්තා නිලධාරීන් විසින් කෝප් කමිටුව හමුවේ පැමිණිලිකර ඇත. ඉදිරියේදී මෙවැනි ගැටලු ඇති නොවන ලෙස කටයුතු කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා සංස්‌ථා සභාපතිවරයාට දැනුම්දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *