නිදහසින් පසු වැඩිම ණය බර මේ වසරේ / මුදල් අමාත්‍යාංශය

නිදහසින් පසු වැඩිම ණය කන්දරාවක් ආපසු ගෙවීමට ඇත්තේ මේ වසරේදී බව, මුදල් අමාත්‍යාංශය පවසනවා. 

එය ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 1.9ක්.

ශ්‍රී ලංකාව විශාල ණය උගුලක සිරවීමට හේතුව, පැවති රජය යටිතල පහසුකම් සංවර්ධනයට ලබාගත් සුවිශාල විදේශ ණය කන්දරාවයි.

එම යටිතල පහසුකම් මගින් රජයට කිසිදු ප්‍රතිලාභයක් ද අත්වී නැහැ. 2010 වසරේ සිට රාජ්‍ය ආදායම හා අපනයන ආදායම වසරින් වසර පහත වැටීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවා.

සංවර්ධිත රටවල්, වරාය, ගුවන් තොටුපොළ ඇතුළු මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදා ගන්නේ, තම රටේ මුදල්. එහෙත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් තම ආර්ථික අවශ්‍යතා මත යටිතල පහසුකම් වෙනුවෙන් බොහෝ විට විදේශ රටවලින් ආයෝජන ලබා ගන්නේ, එය ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමටයි.

ගොඩනඟා පවත්වාගෙන ගොස් පසුව අයිතිය පවරනු ලබන බී. ඕ. ඕ. සහ බී. ඕ. ටී. ක්‍රමය යටතේ සිදු කිරීමෙන්, එම සංවර්ධන කටයුතු සඳහා කුඩා රටවල්වලට කිසිදු වියදමක් දැරීමට සිදුවන්නේ නැහැ.

පොදුවේ ක්‍රියාත්මක කෙරෙන මෙම ඒකාබද්ධ ආයෝජන ක්‍රමය යටතේ, තම ආයෝජනයේ ප්‍රතිලාභ සොයා ගැනීමෙන් පසු අදාළ ව්‍යාපෘතිය, එය අයත් රටට පැවරීම තුළින් සියලු පාර්ශ්වයන්ට ණය බරින් තොරව ප්‍රතිලාභ අත්වනවා.

හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ මෙන්ම, අධිවේගී මාර්ග සඳහා අධික පොලියට ලබාගත් ණය ගෙවීම ආරම්භ කෙරුණේ, 2014න් පසුවයි. මීට අමතරව පැවති රජය 2010 සිට 2014 දක්වා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් ද ලබාගෙන තිබෙනවා.

එය කල්පිරීම ආරම්භ වන්නේ, 2019 වසරේ සිටයි. ආපසු ගෙවීම් අදාළ වන්නේ, විවිධ ව්‍යාපෘති හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් ලබාගත් ණය සඳහා පමණයි.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ලබාගත් ණය හා විදේශිකයන් විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළව ණය ආපසු ගෙවීම් වෙනම සිදුකළ යුතුයි.

දැනට පවතින ණය පියවීමට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට, ගෙවුම් ශේෂ හිඟයේ තාවකාලික ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හා රටක සංවර්ධනය සඳහා අවශ්‍ය කරන විදේශ සම්පත් හිඟ අවස්ථාවක, එය ඉහළ නැංවීම සඳහා විදේශ ණය ලබා ගැනෙනවා.

රටට ආදායම් ගෙන දෙන රැකියා අවස්ථා ඇති කිරීම, නව ආයෝජන ගෙන ඒමට කටයුතු කිරීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීම වැනි ණය බරින් නිදහස් වීමට ගත හැකි ක්‍රියාමාර්ග රැසක්, වත්මන් රජය විසින් ගෙන තිබෙනවා.

ණය ආයෝජන ලෙසට පරිවර්තනය කරමින් ජනතාව මත ණය බර නොපටවා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර ලෙස ආරම්භ කිරීමට ද රජය කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *