නියෝජ්‍ය කථානායක ජන්ද විමසීමෙන් ඒකාබද්ධයේ අර්බුධයක් ?

ඒකාබද්ධ විපක්ෂය තුළ ඇතිවී තිබෙන බරපතළ මතභේදයක් හේතුවෙන් එයට සම්බන්ධ පක්ෂ හතරක් පෙරේදා පැවැති පක්ෂ නායක රැස්වීම වර්ජනයකොට ඇත. මෙලෙස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම වර්ජනය‍කොට ඇත්තේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂ හතරයි. ඒ අනුව එම පක්ෂවල නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් පෙරේදා රැස්වීමට සහභාගීවී නැත. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තේරීමේ ඡන්ද විමසීමේදී ක්‍රියාකළ ආකාරය පිළිබඳ මතභේදයක් හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මකකොට ඇත.ඒ අනුව පෙරේදා සවස කොළඹ විජේරාම පෙදෙසේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති පක්ෂ නායක රැස්වීමට ඒ මහත්වරුන් සහභාගී වූයේ නැත. මෙය එම කණ්ඩායමේ බරපතළ බෙදීමක් පෙන්නුම් කරන සිදුවීමක් බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

නියෝජ්‍ය කථානායක තනතුර පවත්වන ඡන්ද විමසීමේදී ගතයුතු පියවර සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම පෙරේදා උදේ රැස්වූ අවස්ථාවේදී මත ගැටුමක් ඇතිවී තිබේ. එජාපයේ අපේක්ෂක ආනන්ද කුමාරසිරි මහතා පැරදවීම සඳහා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය දිය යුතු බව දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු පිරිසක් යෝජනා කරද්දී, ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ප්‍රබල පිරිසක් ප්‍රකාශකොට ඇත්තේ ඇයට ඡන්දය දීම කළ නොහැකි බවයි. කෙසේ වෙතත් එජාප අපේක්ෂකයා පැරදවීමට ඡන්දය දිය යුතු බවට අවසානයේ තීරණය වුවද දහඅට දෙනෙක් එම තීරණයට පිටුපා කටයුතු කළෝය. ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක්ද ඡන්දය දී නැත. විදේශගතව සිටින හා අසනීපව සිටින අය හැරුණුවිට එජාපයේ මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම ඡන්දයෙන් එජාපය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් සිතා සිටියද ඉහත සිදුවීම් නිසා ඔවුනට අත්වූයේ 97ට 53ක් ලෙස දරුණු පරාජයකි. අපේ ආරංචි මාර්ග කියන්නේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම මෙයින් බරපතළ ලෙස කෝපයට පත්ව සිටින බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එන පිරිසද සමඟ එක්ව එජාප විරෝධී පෙරමුණක් හැදිය යුතු බව කියන මෙම පිරිසගේ උත්සාහය මෙම ගැටුමත් සමඟ අසාර්ථක වන ලකුණු පහළ වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමක් අඟහරුවාදා යොදාගෙන තිබුණේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීම සඳහාය. කණ්ඩායමේ ඇතිවූ බෙදීමෙන් නායකයන් පිරිසක් රැස්වීම වර්ජනය කිරීමත් නිසා එකී වැඩපිළිවෙළද ක්‍රියාවට නැංවීමට නොහැකිවී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් නැවත රැස්වීක් ගැනද මේ වනතෙක් තීරණය කොට නැත.

සී. ජේ. අමරතුංග 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *